
(සුජිත් හේවාජුලිගේ )
විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
දෙපාර්තමේන්තුවේ විද්යුත් තැපෑල හරහා සංවේදී තොරතුරු හුවමාරු කරන විට කේතන ක්රමවේද භාවිත නොකරන බවත් විද්යුත් තැපැල් පෙරහන් ද සක්රිය කර නොතිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.
එසේම තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් කිසියම් සැක කටයුතු ක්රියාකාරකමක්, සම්බන්ධතාවක්, වෛරස අවදානමක්, අනවසර ප්රවේශයක්, ලිපි ගොනු විකෘති කිරීමක් හෝ සයිබර් ආරක්ෂණ ප්රතිපත්තියක උල්ලංඝනය කිරීමක් ආයතනයේ තොරතුරු නිලධාරියාට වාර්තා කරන ලෙස කාර්ය මණ්ඩලයට කිසිදු උපදෙසක් දී නොතිබුණු බව ද වාර්තාව සඳහන් කරයි. එමෙන්ම තොරතුරු සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විධිමත්ව පැහැදිලි කර දී නොතිබුණු බව ද එහි දැක්වේ.
ආයතනයේ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහතික කළ යුතු ආකාරය විදහා දැක්වෙන තොරතුරු ආරක්ෂක ක්රියාකාරී සැලසුම් සකස් කර ඒවා ක්රියාත්මක කිරීම කළ යුතු වුවත් දෙපාර්තමේන්තුව එලෙස කටයුතු කර නොතිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.
එසේම ආයතනය සතු සියලුම වැදගත් තොරතුරු වත්කම් හා තොරතුරු තාක්ෂණ වත්කම් හඳුනාගෙන තොරතුරු වත්කම් ලේඛනයක සටහන් කළ යුතු වුවත් එසේ තොරතුරු වත්කම් ලේඛනයක් නඩත්තු කිරීමට කටයුතු කර නොතිබුණු බව ද ජාතික විගණන කාර්යාලය පවසයි. ගබඩා කිරීමට පෙර පරිගණක ජාල සහ වෙනත් චැනලයක් හරහා ගමන් කිරීමට පෙර සංවේදී තොරතුරු කේතනය කිරීමක් කර නොතිබුණු බව පවසන විගණන වාර්තාව දෙපාර්තමේන්තුවේ පරිගණක මෙහෙයුම් පද්ධති ක්රම මගින් යාවත්කාලීන කර නොමැති බව ද පෙන්වා දෙයි.
එසේම සැපයුම් කරුවන් සැපයූ තීරණාත්මක ක්රමවේද ස්ථාපනයට පෙර ඇගයීමකට ලක් කර නොතිබුණු බවද සඳහන් කරයි.
රහසිගත තොරතුරු වත්කම් හෝ තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් සහිත පද්ධති සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ පසුබිම් පරීක්ෂණ සහ ආරක්ෂණ නිෂ්කාශන කර නොතිබූ බවද විගණන වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරැ සදහන් වන්නේ විභාග දෙපාර්තමේන්තුවේ 2025 වාර්තාවට අැතුළත් කරනු ලැබ අැති විගණන වාර්තාවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd