(සුජිත් හේවාජුලිගේ)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද (15) පෙරවරු 6.00 වනවිට මෙම තත්ත්වය වාර්තා වූ බව වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් මහතා ප්‍රකාශ කළේය.

වාන් දමන ප්‍රධාන ජලාශවලට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹෙවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදිායය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතී.