(ටී.කේ.ජී.කපිල )

                කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව , දීර්ඝ කාළයක් නීතිවිරෝධී ලෙස රැදී සිටිමින් , එරට පිටස්තර විවිධ ස්ථාන වල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද 27 දින එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

              ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටි පිරිසක් වන අතර , එම තානාපති කාර්යාලීය නිලධාරීන් එරට පොලිසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය සමග එක්ව කටයුතු කර මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීමට කටයුතු කර තිබුණි .

               මෙම පිරිස අද 27 දින උදෑසන 06.30 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

             ඔවුන් අතර ගෘහ සේවිකාවන් 24 දෙනෙකු සහ  ගෘහ සේවකයින් 04 දෙනෙකු ද සිටි අතර , මෙම ගෘහ සේවිකාවන් අතර එක් ගර්භණී කාන්තාවක සිටියාය .

              මෙසේ පැමිණි පිරිස අතර වැඩි පිරිසක් අනුරාධපුරය , පොළොන්නරුව දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් වූහ .

              කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස වෙත සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රවාහන ගාස්තු ගෙවීම සිදු කෙරුණි .