( තිලකරත්න දිසානායක)
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා සායනික ප්‍රතිකාර පිණිස වන මෙරට ප්‍රථම ජාතික මධ්‍යස්ථානය රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (25) විවෘත කෙරිණි.
ජනාධිපතිවරයා, සමරු ඵලකයක් නිරාවරණය කරමින් ගොඩනැගිල්ල විවෘත කළ අතර මධ්‍යස්ථානයේ සෑම අංශයක් වෙත යමින් දරුවන්ට ලබාදෙන ප්‍රතිකාර කටයුතු නිරීක්ෂණය කළේය. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙම අවස්ථාවට සහභාගි වී සිටි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු පිරිස මධ්‍යස්ථානයෙහි පාලනාධිකාරිය සමඟ මෙහි කටයුතු සම්බන්ධයෙන් සහ සිදුකෙරෙන සේවාවන් පිළිබඳව පැයකට අධික කාලයක් සාකච්ඡා කළහ.
කැලණිය විශ්වවිද්‍යාලයට අයත් රාගම වෛද්‍යපීඨ පරිශ්‍රයෙහි "ආයති" නමින් නම් කරමින් ඉදිකොට ඇති මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා රුපියල් මිලියන 550ක මුදලක් වැයකර ඇති අතර මාස 13ක් වැනි කාලයක් තුළ යුද හමුදාව මගින් ඉදිකිරීම් කටයුතු නොමිලයේ සිදුකර ඇත.
මෙම "ආයති" මධ්‍යස්ථානය වෙතින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විවිධ ආබාධිත තත්වයන් සඳහා සායනික සේවාවන් සිදුකෙරෙන අතර සියළුම කායික සහ මානසික ආබාධ තත්වයන් වෙනුවෙන් මූලික පරීක්ෂාවන් සිදුකිරීම ඇතුළුව කථන හා භාෂා චිකිත්සාවන්, ශ්‍රවණ ප්‍රතිකාර, භෞත චිකිත්සාවන්, පවුල් චිකිත්සාවන් සහ වෘත්තීය චිකිත්සාවන් ඇතුළු පුලුල් සේවාවන් රාශියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඉහළම ප්‍රමිතීන්ට අනුව ස්ථාපිත කොට ඇති "ආයති" මධ්‍යස්ථානය නවීනතම ශ්‍රවණ ප්‍රතිකාර ඒකකයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවේදක කාමරය, විවිධ ක්ෂේත්‍ර ආවරණය කිරීමේ පුහුණු මධ්‍යස්ථානයක් සහ පර්යේෂණ හා සංවර්ධන අංශයක් ඇතුළුව පහසුකම් රාශියකින් සමන්විතය.
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ආබාධිත වෛද්‍ය ප්‍රතිකාර අධ්‍යයනාංශයේ ඉහළ සුදුසුකම් සහිත වෘත්තීය විශේෂඥයින් විසින් මෙහි සායන පැවැත්වීම සිදු කරති. මේ වනවිට මෙම මධ්‍යස්ථානය මෙරට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා අවශ්‍ය ප්‍රතිකාර නොමිලයේ ලබාදීම ආරම්භ කොට ඇති අතර ආබාධ සදහා මෙතෙක් මෙරට දරුවන් හට පහසුවෙන් ලබා ගත නොහැකිව තිබු සේවාවන් රාශියක් ලබා දෙන බවත් මෙහි සාර්ථකව අනුව ඉදිරියේදී රටපුරා වෙසෙන, මෙබදු සේවාවන් අවශ්‍ය එහෙත් වැයවන වියදම් දරා ගැනීමට නොහැකි අයහට සේවාවන් ලබා ගැනීමට හැකි අයුරින් කටයුතු පුලුල් කිරීමට සැලසුම් කරන බවත් " ආයති " භාරය සදහන් කරයි.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සායනික ප්‍රතිකාර සඳහා රාගම ඉදිකර ඇති ‘ආයතී’ ජාතික මධ්‍යස්ථානයට අරමුදල් සපයන ලද්දේ හේමාස් හෝල්ඩින්ස් සහ මාස් හෝල්ඩින්ස් යන සමාගම් විසිනි.
රොෂාන් විජේරාම පදනම ද ඒ සඳහා අරමුදල් සපයා ඇති අතර, රොටරි සමාජය ශ්‍රවණ උපකරණ ලබාදී තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් වසරක පමණ කාලයක් තුළ මෙය නොමිලේ ඉදිකර තිබීම ද විශේෂත්වයකි.
මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ , එහි වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිලන්ති ද සිල්වා , ආයති මධ්‍යස්ථාන ව්‍යාපෘති අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාල යන මහත්ම මහත්මීන් අදහස් දැක්වූ අතර ආබාධිත තත්ත්වයෙන් පසුවුවද මේ වනවිට කැලණි සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් ජනසන්නිවේදනය හදාරන තිමාලි ප්‍රියානි සිසුවිය ඇතුළු ආබාධිත තත්ත්වයෙන් සිට ප්‍රතිකාර ලබා යම් සුවයකට පත් දරුවන් කිහිප දෙනෙකුද මෙහිදී කතා කළහ. " ආයති " භාරය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වයක් ලෙස ක්‍රියාත්මක වන අතර මෙය භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වේ.
මෙම අවස්ථාවට නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා , යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ , ආයති ව්‍යාපෘති උපදේශිකා තුසිත කුමාරසිංහම් , ජාඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම යන මහත්ම මහත්මීන්ද , විශ්වවිද්‍යාල නිලධාරීන් , වෛද්‍ය නිලධාරීන් , පෞද්ගලික ආයතන නිලධාරීන් , රංගන ශිල්පීන් , ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් කරපු ගොඩාක් පින් සිද්දවෙන සද්ක්‍රියාවක්.. දරුවන්ගේ දෙමාපියන්ට මේ රෝහල ලොකු අස්වැසිල්ලක්...
හිටපු හමුදාපති මහේෂ් සේනානායකගේ මූලිකත්වයෙන් යුද හමුදාව නොමිලේ ඉදිකර දුන් තවත් එක ගොඩනැගිල්ලක් මේ "ආයති" කියන මේ වර්ගයේ මෙරට ප්‍රථම මධ්‍යස්ථානය. මේක කැලණිය විශ්ව විද්‍යාලයට බාර දුන්නේ 2019 මැද හරියේ වගේ. තව තට්ටු තුනේ ගොඩනැගිල්ලක් සබරගමුව විශ්වවිද්‍යාලයටත්, තව ශ්‍රවණාගාරයක් කැලණියේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයටත් යුදහමුදාව හදලා දුන්නා ඉතා කෙටි කාලෙකින්...
තමන්ගේ අයියගේ බිරිඳට මෙම ආයතනය බාර දුන්නා නම් මුදල් කටයුතු කලින් ළමා ආයතනයේ ගිණුම් වගේ ලස්සනට කරයි. සිරිලිය ඒ නම ලස්සනයි හෙරලියට වැඩිය...
ඔය විවෘත කිරීම් වලට නම් අපි එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි... මහජන මුදල්, මිලකළ නොහැකි වටිනා මිනිස් කාලය මෙන්ම එකී මෙකී නොකී කොතරම් ධනයක් නාස්තිකර ඇද්ද? මේ එක එක විවෘත කිරීම් වෙනුවෙන්... කිසිඳු දවසක මේ එකඳු දේශපාලකයෙක්වත් අලුතෙන් සාදන ලද "රජයේ වැසිකිලි" විවෘත කිරීමට ගොස් තිබේද? පිළිතුර නම් නැත යන්න නොවේද? ඇයි ඒවා විවෘත කිරීමට දියවන්නා ඔයේ අය නොයන්නේ? අහිංසක පුරවැසියන්ගේ මුදල් නාස්තිකර මහා ඉහළින් විවෘතකිරීම් උත්සව ගෙන එක එක දේශපාලුවන්ගේ නම් ගම් සහිත බෝඩ් දැකීමට අකමැති බව දැන්වීමට කැමැත්තෙමු. ඒ ඒ දේශපාලුවන්ට අවශ්‍ය නම් විවෘත කිරීමේ උත්සව ගැනීමට ඒ ඒ අයගේ පුද්ගලික වියදමින් උත්සව නොවේ ඕනෑම මගුලක් ගත්තාට නම් කිසිඳු ගැටළුවක් නැත. "අපගේ මෙම අදහස් කෙසේ හෝ මුල්පුරවසියාගේ නෙත ගැටේවා" !!!
මෙය රටේ අත්‍යාවශ්‍ය කටයුත්තකි. දියුණු රටවල් මෙවැනි දරුවන් සඳහා දක්වන දායකත්වය බලනවිට ලොකුවට පම්පෝරි ගහන අපේ පාලකයින් ලැජ්ජා වියයුතුයි. ප්‍රමාද වී හෝ මෙවැන්නක් ලැබීම සතුටට කරුණකි. හැම දිස්ත්‍රික්කයකම මෙවැනි මධ්‍යස්ථාන ඇතිකිරීමට පාලකයන් සමත්විය යුතුයි.
මේවා ඔක්කොම යහපාලන ආණ්ඩුවේ වැඩ.
ගරු ජනාධිපතිතුමනි, මේ මධ්‍යස්ථානය හරහා දොස්තර මාෆියා කල්ලියට අත යටින් ගානක් ලැබෙනවාද යන්න සොයා බලන්න. එසේ නොමැතිනම් මොවුන් කිසි විටෙකත් නිහඬව නොසිටිනු ඇත. දොස්තර මාෆියා කල්ලියට කප්පමක් නොලැබීම නම් ඒ, ඔවුන්ට වැඩ වර්ජනයක් කල හැකි මට්ටමේ භයානක තත්වයක්..
යහපාලන ආණ්ඩුවේ වැඩක් නොවෙයි වෙන්න ඇති...?
මේක යහපාලන ආණ්ඩුවේ වැඩක්. නිකන්නේ මතක් කළේ....
ඉතා හොඳයි. ඒත් මං හිතුවා අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන දේශපාලන පුරුද්ද වත්මන් ජනාධිපතිතුමා අතහරීවි කියලා...
මේ ආයතනයට ඇතුළු කළයුතු පළවෙනි බැච් එක මග හැරිලා වගේ. ඒ වෙනුවට දියවන්නාවේම වුණත් ශාඛාවක් දාන්න පුළුවන්...
මෙම ආයතනයට අප විසින් ළමුන් කිහිප දෙනකු යොමු කළා. ඇත්තටම දෙමව්පියන් හඳුනා නොගත්තු තත්වයන් ඔය ස්ථානයට ගොස් දරුවාගේ විශේෂ අවශ්‍යතා තත්ත්වයන් වෛද්‍යවරුන් මගින් දැනගෙන දැනට ප්‍රතිකාර කරගෙන යනවා. ඒක ලොකු සත්කාරයක්...