නිරෝෂණ කුමාර


වෙල්ලමුල්ල - වෛක්කාල් ප්‍රදේශයේදී අවසන් සටනින් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා මෙවරද කටයුතු කරන බවද වත්මන් ආණ්ඩුව ඊට බාධා නොකරනු ඇතැයි උතුරේ දේශපාලන පක්ෂ හා ජනතාව අතර විශ්වාසයක් පවතින බවද උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරම් පවසයි.
මෙය කිසි සේත්ම එල්.ටී.ටී.ඊ. හිතවාදී සමරු උත්සවයක් නොවන බව ප්‍රකාශ කළ හෙතෙම අවසන් සටනේදී මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් පැවැත්වෙන උත්සවයක් බවද කීය. මේ පිළිබඳ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
මැයි 18 වැනිදා වෙල්ලමුල්ල, වෛක්කාල් ප්‍රදේශයේදි මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මීට පෙර වසර කිහිපයක්ම මෙම සමරු උත්සවය පැවැත්වීමට උතුරේ මියගිය දෙමළ ජනතාවගේ ඥාතීන් කටයුතු කළද දකුණේ ජනතාව එය එල්.ටී.ටී.ඊ. හිතවාදී උත්සවයක් බවට විවිධ මත පළකිරීම නිසා රජය ඊට බාධා එල්ල කළ බවද මියගිය පුද්ගලයන් සැමරීම ඕනෑම ජාතියකට පොදු කරුණක් නිසා මෙවර පැවැත්වීමට සැලසුම් කර ඇති උත්සවයට බාධාවක් එල්ල නොවනු ඇතැයි විශ්වාස කරන බවද හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවසීය.