(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අරක්කු පානය කර වෙරි මරගාතේ වේයන්ගොඩ ගුවන්පාලම මත සිටි අවුරුදු 15ක් අවුරුදු 16ක් වයස සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

අරක්කු පානය කිරීම නිසා වෙරි මර මරගාතේ කතාබහ කිරීමට නොහැකිව සිහි විකල් තත්ත්වයක පසුවූ බව කියන එක් සිසුවකු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන ලදැයි පොලීසිය පවසයි.

අනිත් සිසුවා, ඔහුගේ මව්පියන් පොලිසියට කැඳවා භාරදී තිබේ.

පොලිස් භාරයට ගන්නා ලද එක් සිසුවෙක් ගම්පහ ප්‍රදේශයේ ද අනිත් සිසුවා නිට්ටඹුව ප්‍රදේශයේ ද ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන අය වෙති.

පොලිස් භාරයට ගන්නා විට එක් සිසුවෙකු පාසල් නිල ඇඳුමෙන් සැරසී සිට ඇති අතර අනෙක් සිසුවා සාමාන්‍ය ඇඳුමකින් සැරසී සිට ඇතැයි කියති.

මත්පැන් අළෙවි සැලකින් මොවුන් දෙදෙනා අරක්කු මිල දී ගෙන පානය කර ඇති බවද දැන ගැනීමට ඇත.