IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


විදුලි සූත්‍රය ක්‍රියාත්මක කළදාට අයි.එම්.එෆ් ණය හරි

(විමුක්ති එස් රුද්‍රිගු)

පෙර එකඟවූ ක්‍රියාමාර්ග වන විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සහ පිරිවැයට සරිලන ලෙස විදුලිය ගාස්තුව ස්වයංක්‍රීයව සංශෝධනය වන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සහතික කිරීම මත සිව්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට විධායක කමිටුව රැස්වෙන දිනය නිශ්චිතව පැවැසිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළේය.

සිවුවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලබා ගැනීමට පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව මූල්‍ය සහතික සමාලෝචනයද සම්පූර්ණ කළ යුතු බවත් කොසැක් මහත්මිය පැවැසුවාය. මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය තහවුරු ගැනීමට අවස්ථාවක් ලැබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

සිවුවැනි සමාලෝචනයට විධායක කමිටු අනුමැතිය ලබාදීම සඳහා ඉදිරි සතිවලදී විධායක කමිටුව රැස්වෙනු ඇතැයි බලාපොරොත්තු වුවත් විධායක කමිටුව රැස්වෙන කාල සීමාව නිශ්චිතව පැවැසිය හැක්කේ ඉහත පියවරයන් දෙක සම්පූර්ණ කිරීමෙන් පසුව බවද ඇය පැවැසුවේය. සිවුවැනි සමාලෝචනය සම්පූර්ණ වීමට නම් කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටුවේ අනුමැතිය ලැබිය යුතු බවද ඇය ප්‍රකාශ කළාය.

පසුගිය අප්‍රේල් මස 25 වැනිදා මෙරට ලබාදී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය මැන බැලීම සඳහා සිදුකළ සිව්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල ගිවිසුමට එළැඹි බවත් එයට විධායක කමිටු අනුමැතිය ලැබීමෙන් පසුව මෙරටට ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ණය මුදලේ පස්වැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 344 ක මුදලක් මෙරටට ලැබෙනු ඇති බවත් කොසැක් මහත්මිය පැවැසුවාය.

ශ්‍රී ලංකාවට පස්වැනි වාරිකය ලැබීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලබාදී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1722 ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිවුවැනි සමාලෝචනය සම්බන්ධයෙන් එළැඹි කාර්ය මණ්ඩල එකඟතාවට විධායක කමිටුවේ අනුමැතිය ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පෙරේදා(22) පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට ආර්ථිකයට හොඳම දෙය වන්නේ විදුලිය පාවිච්චි කරන්නන් ඒ සඳහා නියම මිල ගෙවීම බවයි.

වත්මන් විදුලිය ගාස්තුවෙන් පිරිවැය ආවරණය නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇති බවත් විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදලට සරිලන ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමේ මූලධර්මයට ශ්‍රී ලංකාව පසුගිය වසරේ එකඟතාව පළකර තිබෙන බවත් ආචාර්ය වීරසිංහ මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

පිරිවැයට සරිලන මිලකරණයක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලබන විට එම පාඩු පියවා ගැනීමට රජයට සහන ලබාදීමට සිදුවන්නේ බදු ගෙවන්නන්ගේ මුදලින් බවත් සහන ලබාදීමට භාවිත කරන බදු මුදල් නැවත අයකර ගැනීමට රජයට, ජනතාවට තවත් බදු පැනවීමට සිදුවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය බර බදු ගෙවන්නන් මත පැටවීම කිසිසේත් නොකළ යුතු බවද ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. මීට පෙර අවස්ථාවකදී විදුලිය ගාස්තුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය එක් වසරක විශාල වශයෙන් ලාබ ලැබීමටත් තවත් අවස්ථාවක පාඩු ලැබීමටත් හේතුව පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම බවය.

පිරිවැයට සරිලන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට බලශක්ති මිලෙහි අස්ථාවරත්වය අඩුකිරීම සඳහා යාන්ත්‍රණයක් තිබීම සුදුසු බව තමාගේ මතය නමුත් ඒ සඳහා විසඳුමක් ලබාදිය යුත්තේ බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකතුවී බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

වත්මන් විදුලිය ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක වුවහොත් එළැඹෙන ජුනි සිට දෙසැම්බර් මාසය දක්වා රුපියල් බිලියන 42.19ක පාඩුවක් ලැබිය හැකි බවත් එය මග හරවා ගැනීමට සියයට 18.3 කින් විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙසත් ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

අවසන් විදුලිය ගාස්තු සංශෝධනය පසුගිය ජනවාරි මාසයේදී සිදුවූ අතර එහිදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කරමින් සියයට 20 කින් විදුලිය ගාස්තුව පහළ දැමුවේය. වීදුලිය ගාස්තුව සියයට 20 අඩු කිරීමෙන් පසුව 2023 වසරේ සිව්වැනි කාර්තුවේ සිට පිටපිට කාර්තු 5 ක් ලාබ ලැබූ ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18 ක පාඩුවක් ලබා ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ අතුරු මූල්‍ය වාර්තාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට අනුව විදුලි ඒකක ගාස්තුව මෙන්ම ස්ථාවර ගාස්තුවද ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත. ඒ අනුව ගෘහස්ථ, ආගමික හා පුණ්‍යායතන, කර්මාන්ත සහ හෝටල්, රාජ්‍ය ආයතන යනාදී සියලුම අංශ සදහා ගාස්තු ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බව සඳහන් වේ.

එහිදී ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 30 දක්වා රුපියල් 4ක් වු විදුලිය ඒකකයක මිල රුපියල් 4.75 ක් දක්වා සහ රුපියල් 75 ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 90ක් දක්වා ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ. ඒකක 31 සිට 60 දක්වා රුපියල් 6 ක්වූ විදුලිය ඒකකයක මිල රුපියල් 7ක් දක්වා සහ ස්ථාවර ගාස්තුව රුපියල් 200 සිට රුපියල් 235 දක්වා ඉහළ දැමීමට යෝජනා වී ඇත.

එසේම ඒකක 61 සිට 90 දක්වා රුපියල් 14ක් වන විදුලිය ඒකකයක මිල රුපියල් 16.60 ක් දක්වා සහ එම කාණ්ඩයේ රුපියල් 400ක් වු ස්ථාවර ගාස්තුව 475ක් දක්වා ඉහළ දැමීමටද යෝජිතය. ඒකක 91 සිට 120 දක්වා රුපියල් 20 ක් වන විදුලිය ඒකකයක මිල රුපියල් 23.65ක් දක්වා සහ රුපියල් දහසක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,185ක් දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

එමෙන්ම ඒකක 121ත් 180ත් අතර කාණ්ඩයේ රුපියල් 33ක් වන විදුලිය ඒකකයක මිල රුපියල් 39.05ක් දක්වා ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති අතර 1,500ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රුපියල් 1,775ක් දක්වා ඉහළ දැමීමට යෝජිතය. ඒකක 181 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ රුපියල් 52 ක් වන විදුලිය ඒකකයක මිල 61.55 දක්වා සහ රුපියල් 2000 ක් වන එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව 2370 දක්වා වැඩි කිරීමටද ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

කෙසේවෙතත් යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසුව ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව විදුලිය ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවය.

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ යෝජනාවට මහජන අදහස් වාචිකව ලබා ගැනීම ඊයේ(23) මහජන උපයෝගීතා කොමිෂන් සභාව ආරම්භ කළ අතර එළඹෙන 3 වැනිදා දක්වා මහජනතාවට විදුලිය ගාස්තුව සංශෝධනය සම්බන්ධයෙන් වාචිකව අදහස් ලබාදිය හැක. මහජන අදහස් ලබාගැනීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ දෙවැනි කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලියට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණයක් ගැනීමට නියමිතය.

 



අදහස් (7)

විදුලි සූත්‍රය ක්‍රියාත්මක කළදාට අයි.එම්.එෆ් ණය හරි

ගුණරත්න Saturday, 24 May 2025 06:19 PM

අප්පෝ ඔය හූණු බිජ්ජ අපට වැඩක් නැහැ. අප උගන්ඩාවේ තියෙන සල්ලි ගන්නවා. මීට මාලිමා ගොන් රැළ...

:       34       45

මිහින් Saturday, 24 May 2025 06:25 PM

IMF පදයට නටන ආණ්ඩුවක් නැති නිසා ලේසි වෙන්නැහැ හො‍ඳේ...

:       16       42

දලුවගෙදර Saturday, 24 May 2025 08:07 PM

ඡන්ද පැරදුණ එක තවමත් වදයකි සිතට, වෙන කරන්න දෙයක් හැමදාම රජයට බැනීම හැර, අපේ දුක පියවා ගන්න...!

:       3       0

මහසෙන් Saturday, 24 May 2025 09:42 PM

කට උල් කරලා, ඇස් ලොකු කරලා, අත දික් කරලා මේ ගැන කියන බොරුව මොකක් වෙයිද?

:       1       6

Kapila Sunday, 25 May 2025 09:29 AM

Imf එකත් එක්ක පොරබදලා, පොරබැදලා දිනාගත්තු දේ...

:       1       5

fairoos Sunday, 25 May 2025 12:21 PM

රට මේ තත්වයට පත්කරපු අයට නම් හොඳක් සිදු වෙන්නේ නෑ.

:       1       4

Kamal Koyrala Sunday, 25 May 2025 04:26 PM

පරම්පරා ගණනක් විදුලි මාෆියාව අහෝසි කළ දාට මේ තත්වය වෙනස් වෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site