(නිමන්ති රණසිංහ සහ දයාරත්න ඇඹෝගම)

අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අනුරාධපුර කඳවුරේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මැදවච්චිය, කිරිගල්වැව පදිංචි වයස අවු. 26 ක් වූ පුද්ගලයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය වන වෝටර් ජෙල් කරල් 265 ක් සහ ඒවා පිපිරවීම සඳහා භාවිතා කරන විදුලිමය නොවන ඩෙටනේටර් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා දිග අඩි 170 ක් වන සාමාන්‍ය සේවා නූල් රෝල් 56 ක් ද අත්අංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු කිසිදු අවසරයකින් තොරව කිලෝග්‍රෑම් 37 කට අධික පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබා ගැනීම සම්බණ්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය සහ සැකකරු පිහිඹියගොල්ලෑව පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.