(විමුක්ති එස්. රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)
බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් කේන්ද්‍ර කරගනිමින් සිදුවන බව කියන වකුගඩු ජාවාරම් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් ප්‍රධාන තැරැව්කරුවකු වන සුපුන් සංජීව හෙවත් සදුන් , වැල්ලම්පිටිය සහ කොලොන්නාව ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී සමන් පෙරේරා සහ රාජගිරිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු වන උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා යන සැකකරුවන් තුන් දෙනා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (17) ඉදිරිපත් කෙරිණි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සුපුන් සංජීව නැමැති සැකකරු කොළඹ මෝදර, මට්ටක්කුලිය ප්‍රදේශ වල දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් වකුගඩු ලබාදීම සඳහා පොළඹවමින් මෙම ජාවාරමට සම්බන්ධ වූ තවත් ප්‍රධාන තැරැව්කරුවකු බව සඳහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ග්‍රාම නිලධාරීන් දෙදෙනාද ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කරමින් මෙම ජාවාරමට හවුල් වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැවසුවේය.
සැකකාර සමන් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියා අබුඩාබි පුරවැසියෙකු වෙනුවෙන් වකුගඩු සැත්කමක් සඳහා ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා විදේශිකයින්ට ශ්‍රී ලංකාව තුළ වකුගඩු සැත්කම් සිදු කිරීම තහනම් කර තිබියදී ඔහු එම නීති විරෝධී ක්‍රියාවේ නිරත වී ඇති බවත් පෙන්වා දෙන ලදී.
ඊට අමතරව උපුල් ඉන්ද්‍රජිත් පෙරේරා නැමැති ග්‍රාම නිලධාරියාද වකුගඩුවක් පරිත්‍යාග කිරීම සඳහා යාපනය ප්‍රදේශයේ සිටින පුද්ගලයෙකු රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බව සඳහන් කරමින් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් ඔහු පැවසුවේය.
මෙය ඉතා භයානක තත්ත්වයක් බවත් අධිකරණ වල ඇප තැන්පත් කිරීම සඳහා ඇප කරුවන් වෙනුවෙන් නිකුත් වන්නේ ද මේ වගේ ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික ද යන සැකය මතුවී තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේය.
මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ද සඳහන් කර සිටියේ මේ ආකාරයෙන් ව්‍යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් වීම බරපතළ තත්ත්වයක් බවයි.
ඒ අනුව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය සියලු සැකකරුවන් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.
ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයෙක් වන "සෆ්රන්" නැමැත්තෙකු මේ වන විට විදේශ ගතව සිටින බවත් ඔහු වෙනුවෙන් විදේශ ගමන් තහනමක් පනවන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ පුද්ගලයා වෙනුවෙන් විදේශ ගමන් තහනමක් නිකුත් කිරීමට ද නියෝග කළාය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.