(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව පැපිලියාන හන්දියේ මාර්ග බාදකයකදී ත්‍රිරෝද රථයක් නවතා සිදුකළ පරීක්ෂාවේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනා  අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා ජාවාරමෙන් උපයා ගත් මුදල් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම 100 ක් හා ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන  රුපියල් 26750 මුදලක් ජංගම දුරකථන තුනක් හා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථය නවතා පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයේ පිටුපස වාඩිවී සිටි පුද්ගලයා පිළිබඳව මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි පොලිස්  සැරයන්වරයාට  සැකයක් පහළවී ඇත. 

 

ඒ අනුව එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී සරම කැසපොටේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට  හැකි වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය

 

 

මෙම පුද්ගලයින් දෙදෙනා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 37 සහ 28 වැනි වියේ පසුවන පුද්ගලයින් බවත් පොලිසිය පැවසීය.

 

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට පිළියන්දල ප්‍රදේශයේ සිටින අයිස් මත්ද්‍රව්‍ය  ගැනුම්කරුවකුට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි බව සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරිම් හා විමර්ශනයේදී අනාවරණය  වී ඇත .

මෙම සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගමන් කරමින් සිටියේ මත්ද්‍රව්‍ය කා හට ලබාදීමටද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකර එම පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.