(අංජුල මහික වීරරත්න)

03 වන “එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් බීජිං නුවර මහජන මහා ශාලාවේ දී අද (18) ආරම්භ කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයෝ හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබූහ.

අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද සෙසු රාජ්‍ය නායකයෝ ද චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

විවිධ මහද්වීපයන් නියෝජනය කරමින් රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් (Vladimir Putin) , කසකස්ථාන ජනාධිපති කාසීම් ජොමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev), ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (Joko Widodo) , ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් (Alberto Fernández), ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබේ අහමඩ් (Abiy Ahmed) යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.