
(සුජිත් හේවාජුලිගේ)
මේ දිනවල පවතින අධික රස්නය හේතුවෙන් අැති විය හැකි විජලනයෙන් ආරක්ෂාවීමට නිතර ජලය පානය කිරීම, කුරුම්බා, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි නැවුම් පළතුරු යුෂ පානය කිරීම සහ කැඳ වර්ග ආහාරයට ගැනීම ඉතා වැදගත් බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
සැහැල්ලු ලා පැහැති කපු ඇඳුම් ඇඳීම, සෘජුව අව්වේ ගමන් කිරීම සීමා කිරීම සහ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීමෙන්ද සහනයක් ලබාගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දවසට කිහිප සැරයක් ජලය ස්නානය කිරීම හෝ ශරීරය ජලයෙන් තෙත් කිරීම වැදගත් බවද සඳහන් කළේය.
අධික රස්නය හේතුවෙන් විශේෂයෙන්ම පෙ.ව. 11.00 සිට ප.ව. 3.00 දක්වා ඍජු අව්වේ ගමන් කිරීම හැකි තාක් සීමා කළ යුතු බවත් එළිමහනේ වැඩ කරන විට නිතර සෙවණ ස්ථානයක විවේක ගත යුතු බවත් දීපාල් පෙරේරා මහතා පැවසීය.
නිවසද සිසිල්ව තබාගත යුතු බවත් දොර ජනෙල් ඇර තබා වාතාශ්‍රය ලැබීමට සැලැස්විය යුතු බවත් ඔහු කීය
අධික රස්නය නිසා දරුවන්ට සහ වැඩිහිටියන්ට විජලනය, හිසරදය, වමනය සහ නිදිමත ගතිය ඇතිවිය හැකි බැවින් ඔවුන් ගැන විශේෂයෙන් සොයා බැලිය යුතු බව කී විශේෂඥ වෛද්‍යවරයා සෞඛ්‍ය ගැටලු පවතී නම් වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසු බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd