
(අංජුල මහික වීරරත්න)
බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට මතුව ඇති අභියෝග හමුවේ බලශක්තිය කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් රජයට තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මේ වන විට බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට අද (16) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරිණි.
රජයේ කාර්යාල පවත්වා ගෙන යාමේදී අනුගමනය කළ හැකි විකල්ප ක්‍රමවේද පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, රාජ්‍ය සේවය සඳහා එක් දිනක නිවාඩුවක් ලබා දීම තුළින්, බලශක්ති පරිභෝජනය සීමා කරමින් සේවා පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා විය.
විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍යය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය හා නාවික කටයුතු, ගුවන්තොටුපොළ සේවා සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්රයන්හි සුවිශේෂත්වය සහ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන පරිදි එම සේවා පවත්වාගෙන යාමට මේ මොහොතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වෙන්ව වෙන්ව විමසා බැලිණි.
ප්‍රධාන ක්ෂේත්රවල සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ එම ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
එමෙන්ම, මෙවැනි තත්ත්වයකදී නිවසේ සිට රාජකාරී කිරීමේ ප්‍රායෝගික හැකියාව පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අවධානයට ලක් වූ අතර නිලධාරීන් සේවා ස්ථානය වෙත කැඳවීම පිළිබඳ තීන්දු තීරණ ගැනීම ආයතන ප්‍රධානියා වෙත පැවරීමටත්, සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කිරීමටත් යෝජනා විය.
මතුවී ඇති තත්ත්වය හමුවේ කෘෂිකර්ම කටයුතුවලදී ගොවි ජනතාව සහ කර්මාන්ත ක්ෂේත්රයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් අවම කර ගැනීමට සියලු දෙනාගේ දායකත්වය සහ කැපවීම අවශ්‍ය බවත්, එහිදී යම් පිරිසකට සහනාධාර ක්‍රම මගින් පහසුකම් සැපයීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
QR ක්‍රමය හඳුන්වා දීමේ අපේක්ෂාව වන්නේ දෛනික ඉන්ධන පරිභෝජනය පවතින අභියෝගයන්ට අදාළව කළමනාකරණය කිරීම බවද මෙහිදී සඳහන් කෙරුණු අතර, එමගින් දෛනිකව ලැබෙන මිණුම් විශ්ලේෂණය කරමින් රටේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු වන පරිදි ආර්ථික සහ සේවා කටයුතු සඳහා ඉන්ධන මුදාහැරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.
ඉන්ධන සැපයුමේදී QR ක්‍රමය විධිමත් අයුරින් භාවිතා කිරීමේ වැදගත්කමත්, ඒ සඳහා එක් එක් අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය සියලු දත්ත හැකි ඉක්මණින් ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයට ලබා දීමටත් මෙහිදි සාකච්ඡා වූ අතර , ඒ අනුව අදාළ අමාත්‍යාංශ සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව QR ක්‍රමය වඩාත් විධිමත් කිරීමටද යෝජනා විය.
එමෙන්ම, මතුව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය උත්සව තාවකාලිකව නතර කිරීමටත්, රජය මේ සම්බන්ධව ඉදිරියේදී තවදුරටත් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ පෞද්ගලික අංශය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳවත් මෙහිදී යෝජනා කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබේරත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. a

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd