(අංජුල මහික වීරරත්න)

රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.  

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතය. ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුවේ ගෙවීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද රණතුංග මහතා කියයි.

මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතුවූවන්ට සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුව මෙම සතියේ දී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි.

මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු සහ වක්‍ර රැකියාවල ලක්ෂ 10 ට ආසන්න පිරිසක් නියුතු වෙති.

කොන්ත්‍රාත්කරුවන්ට රජයේ ආයතන මඟින් ගෙවීමට ඇති රුපියල් බිලියන 122 ක මුදුලක් ගෙවීම ප්‍රමාද වී තිබේ.