(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අංශයේ  ඩිජිටල්  පරිවර්තනයක් කිරීම සඳහා “ආයතනික නියමු ජාලයක්"ස්ථාපිත කිරීමට රජය  සැලසුම් කර තිබේ.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ බව ජනාධිපති කාර්යාලය කියයි.

 මේ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා  චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොමසාරිස් ජනරාල්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් දැනුවත් කරනු ලැබ තිබේ.  

මේ වැඩසටහන යටතේ තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය සඳහා සාමුහිකව වගකියන නියමුවන් සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමස්ත සේවක පිරිස අතරින් තෝරා පත්කර ගත යුතුය. 

තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව හා මනා සම්බන්ධීකරණයකින් වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායමේ වගකීම වේ.