(ටී.කේ.ජී.කපිල )

මැදපෙරදිග කළාපයේ මේ වනවිට උද්ගතව වී ඇති යුදමය වාතාවරණයත් සමග එම කළාපයේ රටවල් තම ආරක්ෂා පතා ගුවන් අවකාශයන් වසා දැමීම සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට සහ පිටත්වීමට නියමිත ගුවන් යානා 115 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

ඒ අනුව මැදපෙරදිග කළාපයේ රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ඇතුළු අනෙකුත් විදේශීය ගුවන් සේවා යානා වල ගමන් වාර 55 ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් එම කළාපය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 60 ක් ඒ අනුව අවලංගු වී තිබේ .

මැදපෙරදිග බලා කටුනායක ගුවන් තොටුපොළෙන් ඊයේ පිටත්ව ගොස් තිබූ ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා දෙක එදින පස්වරුවේ එම කළාපයට පිවිසීමට නොහැකිව , යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එමෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු කිසිදු ගුවන් යානයක් මෙම පසුබිම යටතේ මැදපෙරදිග කළාපයේ රටවල  රදවා තබා නොමැති බව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

ගමනාන්තය ලෙස මැදපෙරදිග කළාපයේ රටවල් කරා යන ගුවන් මගීන් සහ එම කළාපය ඔස්සේ වෙනත් රටවල් කරා යන ගුවන් මගීන් , ඒ සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර , ඔවුන්ගේ ගුවන් ගමන් නියෝජිතවරු වෙතින් ඒ පිළිබද විමසීම සිදු කළ යුතු බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .