(සුජිත් හේවාජුලිගේ)

මැයි රැලි පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ  රැසක  අභ්‍යන්තරයේ  විවිධ කඹ  ඇදීම්  හටගෙන ඇතැයි වාර්තාවේ.

සමහර දේශපාලන පක්ෂවල පාක්ෂිකයන් මේ අවස්ථාවේදී මැයි  රැලි  නොපැවැත්විය යුතු බව සඳහන් කරද්දී තවත් පාර්ශවයක් ප්‍රකාශ කර ඇත්තේ එය පැවැත්විය යුතු බව යයි දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජාත්‍යන්තර මැයි දිනය වෙසක් දිනය දා යෙදී ඇති හෙයින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි රැලිය නොපැවැත්වීමට දැනටමත් තීරණය කර ඇත.

ආර්ථික වාතාවරණය හමුවේ අධික වියදම්  සැලකිල්ලට ගෙන ජාතික ජන බලවේගය සිය මැයි රැලිය පිට පළාත්වල ස්ථාන තුනකට සීමා කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂයද  මැයි රැලියක් නොපැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් සමඟජන බලවේගය සිය මැයි රැළිය වෙසක් පොහෝ දින කොළඹ පී ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එම පක්ෂයේ සමහරුන් මැයි රැලිය නොපැවැත්විය යුතු බව කියද්දී තවත් පිරිසක්  එය පැවැත්විය යුතු බවට යෝජනා කර ඇතැයි දැනගන්නට ඇත.මේ අවස්ථාවේදී මැයි රැලි සංවිධානය කිරීමෙන් පාක්ෂිකයා හෙම්බත්වනු ඇතැයි  ඇතැම් පාර්ශව නායකත්වයට පෙන්වා දී ඇත.

සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයකට පක්ෂයකටම මැයි රැළියක්  සංවිධානය කිරීම සඳහා  රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් වැය වන බව ගණන් බලා ඇත.

මේ අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  නායක භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙන්නේ වෙසක් පොහොය දින මේ රැලි සංවිධානය කිරීමෙන් වැළකී ආගමික වතාවත් වල යෙදෙන ලෙසයි.