(චමිලා අල්විස්)

හොරණ වගවත්ත කොබවකවත්ත ප්‍රදේශයේ කළු ගඟ ආශ්‍රිතව බලපත්‍ර නොමැතිව අනවසර මැණික් පතල් කැණීම් සහ වැලි ගොඩදැමීම සිදු කළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් 25 දෙනා අගෝස්තු මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන  ලෙස හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හොරණ, බණ්ඩාරගම, අයගම, මිල්ලනිය ඇතුළු ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40 ත් 60 ත් අතර පුද්ගලයන් 25 දෙනෙකු බව අධිකරණයේදී අනාවරණය විය.

මෙම සැකකරුවන් කාලයක් තිස්සේ බෝට්ටු යොදා ගනිමින් කළු ගඟ ආශ්‍රිතව අනාරක්ෂිත අයුරින් මැණික් ගැරීම සහ වැලි ගොඩදැමීම සිදුකර ඇති බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

මෙම ක්‍රියා හේතුවෙන් කළු ගඟ ආශ්‍රිත පරිසරයට දැඩි හානි සිදුව ඇති බවත්, ගං ඉවුරු ඛාදනයට ලක්වන බවත් පොලිසිය අධිකරණයට පැවසීය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින්, පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ හෝ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ නඩු පවරන්නේ නම් එම වරද පිළිගෙන නඩු කටයුතු අවසන් කිරීමට සූදානම් බව පැවසූහ.

එමෙන්ම සැකකරුවන්ට ඇප ලබා නොදීමට තරම් කරුණු නොමැති බැවින් ඇප ලබාදෙන ලෙසද නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.