(කේ. බුද්ධික කුමාරසිරි)


සුරතල් මත්ස්‍ය කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු ගේ මළ සිරුරක් ඒ මහතාට අයත් හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ මත්ස්‍ය ගොවිපළක තිබූ අනාරක්ෂිත විශාල ලිදක තිබී සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ දිද්දෙණිය පාර පහත්ගම හංවැල්ල යන ලිපිනයේ පදිංචිකරුවකු වන අංගොඩගේ දොන් ඩොනල්ඩ් මැක්සිම් නමැති 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි

රැකියාව සදහා ගොස් සිටි මියගිය අයගේ බිරිඳ විසින් මියගිය ව්‍යාපාරිකයාට ලබා ගත් දුරකතන ඇමතුම් සදහා ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අසල්වැසියෙකු ලවා සොයා බැලීමේදී අදාල ලිද අසල ව්‍යාපාරිකයාට අයත් යතුරු පැදිය නවත්වා තිබෙනු දැක ඇති අතර විශාල ලෙස ජලය පිරී තිබූ අනාරක්ෂිත ලිදෙහි ජලය මත ව්‍යාපාරිකයාට අයත් පාවහන් දෙකක් පාවෙනු දැක ඇත

ඒ අනුව හංවැල්ල පොලිසියට සිදුකල පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ එම අනාරක්ෂිත ලිදෙහි ජලය ඉවත් කර බැලීමේදී මියගිය ව්‍යාපාරිකයා ගේ දේහය ලිද තුල තිබී හමු වූ බවද පොලිසිය පවසයි