(  සිතුම් චතුරංග)

මසුන් ප්‍රවාහනය කරන ලොරියකින්  මස් පිණිස යාපනය සිට ගල්කිස්සට එළුවන් 54 දෙනකු රැගෙනයමින් සිටි පුද්ගලයකු අද (12) අලුයම වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.

නීති විරෝධී අයුරින් එළුවන් ප්‍රවාහනය කරන ලොරි රථයක් සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හිංසාකාරි අයුරින් එළුවන් ප්‍රවාහනය කළ ලොරි රථය සමඟ සැකකරු අත්අඩංගුවටගත් බව පැවසීය.

පොලිසිය පැවසූයේ යාපනය ප්‍රදේශයෙන් සොරාගන්නා බවට සැකකළ හැකි එළුවන් එලෙස බලපත්‍ර නොමැතිව රහසිගතව රැගෙනයාම සිදුකොට ඇති බවයි.

සැකකරු ප්‍රධාන මාර්ගවල පවතින පොලිස් මාර්ග බාධක මඟහරිමින් යාපනය සිට කොළඹට දීර්ඝ කාලයක සිට මස් පිණිස සතුන් ප්‍රවාහනය කොට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවටගත් එළුවන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ හයකට අධික බවත් අත්අඩංගුවටගත් සැකකරු ප්‍රවාහනය පමණක් සිදුකරන අයකු බවට අනාවරණයවූ බවත් කීය.

අත්අඩංගුවටගත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු වන අතර වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.