(ඩයනා උදයංගනී)

මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා ගතවූ කාලයේ දී මෙරට මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඉකුත් 2021 වසරේදී මෙරට මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව තිබෙන බව ද  ඇමතිවරයා සඳහන් කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙය ඉතා විශාල ජීවිත සංඛ්‍යාවක් බව කී ඇමතිවරයා සෑම පුරවැසියකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව ද කීවේය.

මෙම අපරාධකරුවන් පිළිබඳ සාක්ෂි මරණ පරීක්‍ෂණවලින් ලැබෙන බවත්, මරණ පරීක්‍ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියා පටිපාටි සහ භාවිතයන් පිළිබඳ සුදුසු සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවත් ඇමතිවරයා පැවසීය.

එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.