(යොහාන් භාසුර)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සමත්ව සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුළුණි මෙත්සරා සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමංසා ජයනදී රත්නවීරට හිමිව ඇති බවත් සිව්වන ස්ථානය සිසුවියන් තිදෙනෙකු හිමි කරගෙන ඇති බවත් ඒ මහතා කීය.
කොළඹ විශාකා බාලිකා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන, නුගේගොඩ අනුලා විද්‍යාලයේ මෙතුකි චමෝදි පෙරේරා සහ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ නදුන් පමුදිතා රණවක එම සිසුවියන් බව කී ජයසුන්දර මහතා හත්වැනි ස්ථාන නුගේගොඩ අනුලා විද්‍යාලයේ නෙම්දිනී වොනාරා අධිකාරි, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි, පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂි ධනංජනා වික්‍රමගේ සහ මාතර රාහුල විද්‍යාලයේ සකුණ සදීශාන් සමරවික්‍රම හිමි කරගත් බවද සඳහන් කළේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කළ අපේක්ෂකයන් 452,979 න් 415,545 ක් විභාගයට පෙනී සිටි බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 91.73 ක් බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාගයට පෙනී සිටි එම අපේක්ෂකයන්ගෙන් 13,309 ක් විෂයන් නවයටම ඒ සාමාර්ථ ලබාගැනීමට සමත්ව ඇති බවත් එය විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් සියයට 4.13 ක ප්‍රතිශතයක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
සියලුම විෂයන් අසමත් වූ ප්‍රතිශතය සියයට 2.12 ක් බවද ඒ මහතා සඳහන් කළේය.
සාමාන්‍ය පෙළ විභාගයට පළමු වරට පෙනී සිටි 322,537 ක් අතරින් 244,228 ක් උසස් පෙළ පන්තියට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබා ඇති බව කී ජයසුන්දර මහතා එය ප්‍රතිශතයක් ලෙස සියයට 75.72 ක් වීම ඉහල මට්ටමේ සාධනයක් බව ද සඳහන් කළේය.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 73.55 ක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා සිටින බවත් එය පසුගිය වසරට සාපේක්ෂව ඉහළ සාධනයක් බවත් ජයසුන්තර මහතා පැවසීය.
දකුණු පළාත සියයට 78.21 ක්, නැගෙනහිර පළාත සියයට 77.36 ක්, බස්නාහිර පළාත සියයට 77.11 ක් සහ සබරගමුව පළාත සියයට 76.54 ක් ලෙස උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සමස්ත සිසු ප්‍රතිශතය ඉක්මවා ගිය පළාත් බවට පත්ව ඇති බව කී ජයසුන්දර මහතා පැවසුවේ ප්‍රධාන විෂයයන් හය සැලකීමේ දී සම ලකුණු ලබාගැනීම නිසා පළමු ස්ථානයක්, දෙවැනි ස්ථාන දෙකක්, හතරවැනි ස්ථාන තුනක් සහ හත්වැනි ස්ථාන හතරක් ලෙස පළමු දසදෙනා නම් කර ඇති බවත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ළමයින් කොටසක් විතරක් උස්සලා තියන්න එපා කියලා මනෝ වෛද්‍යවරුන් පුන පුනා කියනවා.
අද ඔය සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන එක, පාසැලේ වාර විභාගයක් සමත් වෙනවාට වඩා පහසුයි. ලංකාවේ වසරකට සිසුන් 450,000 පමණ පාසැල් වලින් ඉවත් වෙනවා, නමුත්, ඒ අය සඳහා රටේ රැකියා වසරකට 450,000 බිහි වෙන්නේ නැහැ. එමනිසා, කල යුතු නුවනට හුරු දේ නම්, ලද ඕනෙම අවස්ථාවකින් පිට රටකට ගොස් ජීවත් වීමයි. කිව්වට තරහ වෙන්ට එපා, ඕක තමා තිත්ත ඇත්ත.
හොඳ මග පෙන්වීම් සහ යහපත් ආකල්ප කුසලතා වලින් හෙබි විදුහල්පතිවරු ඉන්න පාසල්වල තම ගුරුවරුන් හොඳින් මෙහෙයවා දරුවන් බුද්ධිමත් ලෙස සමාජගත කිරීම අහන්න ලැබීම සතුටක්. සමහර විදුහල්පති වරු ඉන්නවා පාසල්වල පල්ලට ගෙනයන ඔවුන්ගේ අකාර්යක්ෂමතා හෙළි කරගෙන තනතුර අහිමි කළ යුතුයි. දක්ෂතා දැක්වූ දරුවන් සහිත පාසල්වල මෙම විදුහල්පති වරුන්ටත් ගුරුවරුන්ටත් සිසු දරුවන්ටත් උණුසුම් සුබ පැතුම් එක් කරමු.
එක කොල්ලයි.. අනිත් ඔක්කොම කෙල්ලෝ... අපේ රටේ කොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ...?
මගේ හදපිරි සුබ පැතුම්... හිරුණි කුමාරතුංග දියණියට සහ අනිත් සියලු දරුවන්ටත්...!
මේ සියලු දැරියන් වෙත හද පිරි ප්‍රනාමය පුද කරමි. ඒ අතරම මේ ප්‍රතිඵල තුල එක් දරුවෙක් හෝ නොසිටින්නට ප්‍රධානතම හේතුව වන ස්මාර්ට් දුරකථන , ටැබ් ආදිය හහඳුනා ගත හැක. පසුගිය කොරෝනා සමයේ අධ්‍යාපනය උදෙසා ළමයින් අත සැරිසැරූ මේ උපාංග තවම ඒ ආකාරයටම ඔවුන් අත ඇත. අන්තර්ජාලය හරහා පැමිනෙන 'මොඩිෆයි' කරන ලද බස් , ත්‍රීවීල් , මෝටර් සයිකල් .. හා ඒ හරහා ගෙනෙන විකුර්ති ගීත , විකුර්ති ධාවන වීඩියෝ වගේම මෝඩ විකට නාට්‍ය වල වහල්ලු බවට පත්ව ඇති මේ කුඩා දරුවන්ගෙ මනස නැවත ප්‍රකෘති තත්වයට ගැනීමට අධ්‍යාපනයේ වටිනා කම මනසට කාවැද්දීමට දෙමාපියන් පාසැල් විශේෂයෙන් රජය එක්වී යුහුසුළුව ක්‍රියාත්මක විය යුතු යැයි සිතමි .
සුභ පැතුම්