(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක)

මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමට සම්බන්ධ බව කියන පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මාවනැල්ල සහ වැලිඔය යන ප්‍රදේශවලදී මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනය ලක් වූ තරුණයකුට අයත් යතුරු පැදිය සහ එහි ලියකියවිලි වැලිඔය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.

මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් යැයි පොලිසිය පවසයි.