(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ව්‍යාපාරිකයන් පසුගිය වසර 12 තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5 ක් විදේශිය රටවල්වල තැන්පත් කර තිබෙන බව  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා අද (31) අධිකරණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

එම මුදල් ඒ ව්‍යාපාරිකයන් වංචනිකව උපයන ලද මුදල් නොවන බවත් එම මුදල් රටට ගෙන ඒම සිදු නොකල නිසා ආර්ථිකය කඩා වැටුණු බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය. අපේ රටේ මුදල් විදේශිය රටවල තැන්පත් කළ ව්‍යාපාරිකයන් අද වනවිට වෙනත් රටවල ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් එම මුදල් ආණ්ඩුවට අයිති මුදල් බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. 2006 වසරේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමෙන් පසුව මෙම තත්වය ඇති වුණ බවත් එදා ඔහු පත් කරන අවස්ථාවේ තමන් ඊට විරුද්ධ වුණ බවත් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේය. රාජ්‍ය බැංකු කටයුතු අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට එම සිද්ධිය එක කරුණක් බවට පත්වූ බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

එසේම ජල ශාස්ත්‍රීය ක්‍රමයට මුහුද මැන විද්‍යාත්මකව සිතියම්ගත නොකිරීම නිසා වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ අප රටට අහිමි වී ඇති බවත් එය අද පවතින විනිමය අනුපාතයට අනුව ශ්‍රී ලංකා රුපියල් බිලියන 65 ක් පමණ වන බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ(31) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

නාරා ආයතනයට 1981 වසරේදී මුහුද සිතියම්ගත කිරීම සඳහා බලය නාරා ආයතනය ලබා දී ඇතත් එය සිදු කිරීමට හැකියාවක් හෝ උනන්දුවක් එම ආයතනයට තිබී නැතැයි විජේදාස රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.වසර 32 කාලයක් මෙම වගකීම නිවැරදිව ඉටු කිරීමට නාරා ආයතනය අපොහොසත් වී ඇතත් එය වෙනත් ආයතනයකට පැවරීමට කිසිවෙකු උනන්දුවක් වී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.නාවික හමුදාවේ මේ පිළිබඳ විශේෂඥ දැනුම තිබෙන 37 දෙනෙකු සිටියත් ඔවුන්ගේ සේවයද ලබා ගෙන නොමැති බව අමාත්‍යවරයා පැවසුවේය.

ඒ හේතුවෙන් විදේශීය සමාගම් පැමිණ ශ්‍රී ලංකා මුහුදු කලාපය සිතියම්ගත කර විකුණා එම මුදලින් සියයට 10 ක් නාරා ආයතනය ලබා දී ඇති බවත් සමාගම් මුදල් නිවැරදිව ලබාදී ඇත්දැයි සෙවීමට ක්‍රමවේදයක්ද  නොමැති බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා එහිදී පෙන්වා දුන්නේය.එසේ ලැබෙන සියයට 10 ද රජයට නොලැබෙන බවත් එය නාරා ආයතනයේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් වසර 32 ක කාලයක් විදේශීය සමාගම් අපගේ මුහුදු කලාපය නිදහසේ අලෙවි කරගෙන ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එම නිසා ජල ශාස්ත්‍රීය ක්‍රමයට මුහුද මැන විද්‍යාත්මකව සිතියම්ගත කිරීම සඳහා ආයතනයක් පිහිටුවීමේ අරමුණින් ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ගෙන ආ බවත් මේ වන විට නාරා ආයතනයෙන් පනතට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.නව ආයතනයක් පිහිටුවීම තුළින් සිතියම් අලෙවි කිරීමෙන් ලැබෙන මුළු මුදලම රජයේ අරමුදලට ලබා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා මුහුදු කලාපයට චාර්ට් 17 ක් තිබෙන බවත් ඒ සෑම චාර්ට් එකක් සඳහාම ශ්‍රී ලංකා මුහුදු කලාපයේ යාත්‍රා කරන නෞකා සිතියමක් මිලදී ගත යුතු බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.එක් සිතියමක් සඳහා පිළිගත් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 25 ක් බවද ඔහු පැවසුවේය.

මෙතෙක් ශ්‍රී ලංකා මුහුදු කාලපය වෙනත් පාර්ශවයක් විසින් සිතියම්ගත කිරීම හේතුවෙන් මෙරට මුහුදු කලාපය ඔස්සේ යාත්‍රා කරන නෞකා වලට රක්ෂණ අධිභාරයක් ගෙවීමට සිදුව ඇති බවත් එම මුදල නෞකා රැගෙන යන භාණ්ඩ වලට එකතු වන බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.වසරකට නෞකා 35000 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ යාත්‍රා කරන බවත් දිනකට නෞකා 200 - 300 ත් අතර ප්‍රමාණයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ යාත්‍රා කරන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

ජලාශ්‍රිත මිනුම් සහ සිතියම්ගත කිරීම කලට වේලාවට සිදු නොකිරීම මෙරට වරායන් වෙත පැමිණෙන නෞකා සංඛ්‍යාව අඩු වීමටද ප්‍රධාන හේතුවක් වී ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේදී පැවසුවේය. කොළඹ වරායට 2015 වසරේදී නෞකා 4197 ක් පැමිණ ඇති බවත් 2022 දී එය 3648 දක්වා අඩු වී ඇති බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.