(ඉන්දික අරුණ කුමාර)

මධ්‍යම කදුකරයේ ඉහල ජලාධාර ප්‍රදේශ වලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මොරගහකන්ද හා කළුගග ජලාශ වල ජල ධාරිතාව වාන් මට්ටමට ආසන්නව පවතින බව කාර්‍යභාර ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරයි.

මාතලේ හා  පොලොන්නරුව දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පොලිස්ථාන දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ කාර්ය භාර ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව මේ වන විට පසුගිය දෙසැම්බර් 16 වන දා වන විට මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 93.46% කි.කළු ගග ජලාශයේ ජල ප්‍රතිශතය 97.47% කි.

වැසි තත්ත්වය සක්‍රීය වීමත් සමග ඉදිරියේ දී මෙම ජලාශයන්  උපරිම ජල රැදවුම් මට්ටම් කරා ලගාවීමට හැකියාව ඇති බවත්,ඉදිරියේ දී ලැබෙන ජල ප්‍රමාණය අනුව මොරගහකන්ද හා කළුගග ජලාශ වල වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව කාර්යභාර ඉංජිනේරුවරයා නිකුත් කල නිවේදනයේ දැක්වෙයි.

අදාල පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත්, අඹන් ගග සහ කළු ගග දෙපස ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවත් කාර්‍යභාර ඉංජිනේරු පි.එස්. බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.