
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජනමාධ්‍ය අධ්‍යාපනය නව තාක්ෂණයෙන් වඩාත් සන්නද්ධ කරමින් 'මාධ්‍ය සංවර්ධන හා පර්යේෂණ ආයතනය' ලෙස නව ජනමාධ්‍ය අධ්‍යයනය ආයතනයක් හෝමාගම ප්‍රදේශයේ විවෘත කළේය.
මෙම නව ආයතනය මෙරට අනාගත පරපුරට නව තාක්ෂණයෙන් යුත් ජනමාධ්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා ලබන ජනවාරි මස සිට පාඨමාලා ආරම්භ කරන අතර ප්රවෘත්ති ජනමාධ්‍යකරණය, ඡායාරූපකරණය, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ජනමාධ්‍ය, ඒ.අයි. තාක්ෂණය සහ වෘත්තිය නාට්‍යකරණය ඇතුළු පාඨමාලා රැසක් හැදෑරීමේ අවස්ථාව මෙහිදී හිමිවේ.
'මාධ්‍ය සංවර්ධන හා පර්යේෂණ ආයතනය' විවෘත කිරීම කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය කුමාර හිරිඹුරේගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන දේශනයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පැවසුවේ මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් මෙවැනි ආයතනයක් නොතිබුණු බවත් මෙම ආයතනය ජාතික සහ මානව සංවර්ධනය ඉතා සංකීර්ණ ප්රපංචයක් ලෙස ගොනුකර ආරම්භ කළ ඉතාමත් වැදගත් ජාතික මට්ටමේ කටයුත්තක් බවත්ය.
වර්තමාන ලෝක ජනගහනය වන කෝටි 800ක් පමණ වන පුද්ගලයන්ගෙන් සියයට 60ක් පමණ විවිධ ජනමාධ්‍ය සමග සම්බන්ධව සිටින අතර වර්තමානය වන විට ජනමාධ්‍යය ලෝකය පාලනය කරන ප්‍රධානම බලවේගය බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් නවීණ තාක්ෂණය ද මුසුව මෙරට අනාගත පරපුර මාධ්‍ය අධ්‍යයනය කිරීම වඩාත් වැදගත් බවත් මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
එම ආයතනයේ සභාපති නිලූෂ හපුආරච්චි මහතා පැවසුවේ මෙම ආයතනය තුළින් මෙරට අනාගත පරපුරට සාම්ප්‍රදායික රාමුවෙන් එළියට ගිය ජනමාධ්‍ය අධ්‍යාපනයක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
ජනමාධ්‍ය අධ්‍යාපනය පිළිබඳව උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයකුට www.imdr.lk වෙබ් අඩවිය, [email protected] ඊමේල් ලිපිනය සහ 0706766651 වට්ස්ඇප් අංකය හරහා මාධ්‍ය සංවර්ධන හා පර්යේෂණ ආයතනය' සමග සම්බන්ධ විය හැකිය.
ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා වන මහාචාර්ය කපිල ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd