(නිමල කොඩිතුවක්කු)

විද්‍යුත් විකාශන අධිකාරී පනත මගින් මාධ්‍ය මර්ධනය කිරීමේ කිසිම අවශ්‍යතාවයක් රජයට නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී අද(13) පැවසීය.

එම පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු මාධ්‍ය ආයතන වෙත ලබා දෙන බලපත්‍ර නැවත ලබා නොදීමේ කිසිදු වගන්තියක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් තමා අවධාරණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

රට තුළ දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය නියාමනයන් ඇති කළ යුතු බැවින් ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සම්මත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.