(අංජුල මහික වීරරත්න)

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (8) පෙරවරු 8.30 ට නිකුත් කරන ලද තද සුළං පිළිබඳ අවදානම් කාලගුණ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක පවතින අතිශය රළු ස්වභාවය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත මෙම විශේෂ දැනුම්දීම සිදු කරනු ලබයි.

අදාළ නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැක. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බැවින් එම ප්‍රදේශ වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත වේ.

එබැවින්, මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙසත්, සෙසු ප්‍රදේශ වලින් පිටත්වන යාත්‍රා මෙම අවදානම් කලාප වලට ඇතුළු නොවන ලෙසත් දැනුම් දෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ආරක්ෂක උපදෙස් අකුරටම පිළිපදින ලෙස සමස්ත ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.