(ටී.කේ.ජී.කපිල )

රුපියල් පන් කෝටි තිස් නව ලක්ෂයක් පමණ වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 78 ක් ගුලි 98 ක් වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි වෙනිසියුලානු ජාතිකයෙකු කටුනායක ගුවන් පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 41 හැවිරිදි වෙනිසියුලානු ජාතිකයෙකි .

ඔහු මුළින්ම මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය ගිල දමා බ්‍රසීලයෙන් ගමන් ආරම්භ කර ඩුබායි වෙත පැමිණ තිබේ .

මෙම වෙනිසියුලානු ජාතිකයාගේ සිරුර පරිලෝකන යන්ත්‍රයක් ( Scan Test )පරීක්ෂා කිරීමේදී ඔහුගේ ආමාශය තුළ මෙම කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගය දිස් වී තිබූ අතර පසුව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී " තමා ග්‍රෑම් 11 බැගින් අඩංගු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 98 ක් පමණ ගිල දමා පැමිණ සිටින බව " රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ ..