(ඉන්දිකා  රාමනායක)

රජයට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින්  අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩල  විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද (3) කොළඹ කොටුවේ සිට ජනාධිපති මාවත ඔස්සේ  ගාලුමුවදොර අරගල  භූමිය  බලා ගමන් කළේය.

පිරිස  ජනාධිපති මන්දිරය  වෙත ගමන් කිරීමට උත්සහ කළ අතර , පොලිසිය  එම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා මාර්ගය අවහිර කරමින් විරෝධතාකරුවන්ගේ ගමනට බාධා එල්ල  කළේය.

අන්තර් විශ්ව විදයාල  භික්ෂු බලමණ්ඩලයේ මෙම  විරෝධතා පා ගමන  අද  පස්වරු 2.00 ට   විහාර මහදේවි උද්‍යානය අසලින් ගමන් ආරම්භ කළේය.
එම පා ගමන යුනියන් පෙදෙස, කොම්පඤ්ඤවීදිය, ලේක් හවුස් වටරවුම,  ලංකා  බැංකු මාවත,  ඔස්සේ ජනාධිති මාවතට පිවිසුනේය.

ජනාධිපති මාවත  කොටුව පොලිසිය දෙසින් වසා දමා තිබු   ස්ථිර මාර්ග බාධක දෙකක්  බලහත් කාරයෙන් විවෘත කරගත් අතර එහිදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

ජනාධිපති මන්දිරට ගමන් ගැනීමට  පිරිස පැමිණි අතර පොලිසිය එම ප්‍රදේශයේ මාර්ග බාධක සහ  දැඩි ආරක්ෂක විධිවිධාන  යොදා තිබීම හේතුවෙන් ඔවුන්ගේ ගමන වැළැක්වීම නිසා ඔවුහු   ගාලුමුවදොර අරගල භූමිය වෙත ගමන් ගත්හ.

(ඡායාරූප ලහිරු හර්ෂණ)