IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


බෙහෙත් වංචාවේ ලොක්කෝ එළියේ:පොඩ්ඩෝ ඇතුලේ

 

(මනෝප්‍රිය ගුණසේකර)

“ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය.

මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇති සම්බන්ධතාව ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු රහස් පොලිසියට කීවත් ඔවුන් ඒ පිළිබඳ සටහන් කරගැනීම ප්‍රතික්ෂේප කළ බව නීතිඥ ජාලිය සමරසිංහ මහතා කළ දැනුම් දීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කර බන්ධනාගාර තුළදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන්කර ගැනීමට රහස් පොලිසියට නියම කළාය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කැඳවීම මත රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීම දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මින් ඉදිරියට මෙම සිද්ධියට අදාළව යම් පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේදී සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙස රහස් පොලිසියට දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් පැය 05ක පමණ කාලයක් පුරා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය සැකකකරුවන් ලබන වසරේ ජනවාරී මස 10 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ අතර සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අයවලුන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වෛද්‍ය වාර්තාවක්ද ගොනු කරමින් බන්ධනාගාර අධිකාරිවරයා විසින් දැනුම් දෙන ලදී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උපපොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට තවත් කැබිනට් සංදේශ තුනක් ඉදිරිපත් කර ඇති බවත්, එම සංදේශ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අවධානයට ලක් කර ඇති බවත් කියමින් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඇමුණුම් හා තීරණ රහස් පොලිසියට බාර දීමට අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියම කළාය.

‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදුවේ පිහිටි පරික්‍ෂාණාගාරය පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අධිකරණය නියම කර තිබුණත් පසුගිය කාලයේ තිබූ තත්වය අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාත්වරිය හෙට (28) සිට ලබන 09 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්‍ෂා කිරීමටද ඒ සඳහා අවශ්‍ය සහාය ගැනීම සඳහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.

රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසුදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාණ්ඩ සැකකරුට මුදාහැරියේ කෙසේද යන්න හෙළි කර ගැනීම සඳහා කරන විමර්ශනය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය ලබන මස 08 වැනිදාට පෙර ඒ පිළිබඳ හෙළි කර ගැනීම සඳහා රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.

ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහලු, පොස්ටේට් ග්‍රන්ථිය, ආමාශය ආශ්‍රිත පිළිකා රෝගීන් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ටි විතානය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන ඖෂධ, රුධිරය කැටි ගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීමට වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පළමු සැකකරුට ගැනුම් ඇණවුමක් නිකුත්කර ඇතැයි ද ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කීවාය. මෙම සිද්ධියේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාට ලිපියක් නිකුත් කරමින් තෝරාගත් සැපයුම්කරුවන්ට ගැනුම් ඇණවුම් නිකුත් කිරීමට කළ දැනුම් දීමෙන් පසු මෙම ව්‍යසනකාරී තත්වය උද්ගතව ඇතැයිද කීවාය.

ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාගෙන් ප්‍රකාශයක් ගත් බවත්, ලේඛන පරික්‍ෂා කිරීමට අවශ්‍ය බවට ඔහු කළ දැනුම්දීමකට අනුව එම ලේඛන පරීක්‍ෂා කර බලා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නියමිතව සිටියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසරය මත පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු විදේශගත වී ඇති බවත් ලක්මිණී ගිරිහාගම මෙනවිය සඳහන් කළාය.

ඔහු යළි ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පනවා තිබුණා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය ඒ වන විටත් ඔහු විදේශගත වී තිබුණේ යැයි ද අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය සුදර්ශන මහතාද ඊට පෙර විදේශගත වී ඇතැයිද කීවාය.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය මෙම කටයුත්තට මැදිහත්වීමට අධිකරණයට අවශ්‍යතාවක් නැතැයිද ඔහු යළි ගෙන්වා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නැයි ද සඳහන් කළාය. ඔහු අවශ්‍ය පියවර නොගතහොත් ඒ අවස්ථාවේදී අවශ්‍ය නියෝග දීමට හැකියාවක් ඇතැයි මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

පළමු සැකකාර ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ ගිණුමට ලැබුණු රුපියල් ලක්‍ෂ 1444ක මුදල වහාම යළි ලබාගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ නීතීවීරෝධී වත්කම් විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි කියමින් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමකට අනුව ලබන 09 වැනිදාට පෙර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියේ නීතිවීරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළාය.

මෙම සිද්ධියට අදාළව ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 25 වැනිදා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගත්තේ යැයිද, ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ ප්‍රශ්න කළ විට එම අමාත්‍ය මණ්ඩල සංදේශ ඔහු සතුව නොතිබුණේ යැයිද ගිරිහාගම මෙනෙවිය කීවාය.

එහෙයින් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ යැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනෙවිය, අදාළ ප්‍රකාශයේ සංක්‍ෂිප්ත වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.

අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කාර්යාලයේ ඇති බව සඳහන් වූ බව කියමින් කළ ඉල්ලීමකට අනුව අදාළ සියලු අමාත්‍ය මණ්ඩල සංදේශ රහස් පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක ලක්සිරි මහතාට බාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට නියම කළාය.

ප්‍රශ්නගත ඖෂධ 182ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ (ඩබ්ලිව්.ඕ.ආර්.) සහතිකය දීමට යටත්ව යැයිද ඖෂධ සැපයූ සෙසු සැපයුම්කරුවන්ගෙන් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය‘ ලබාගෙන ඇති නමුත් පළමු සැකකරුගෙන් එම සහතිකය ගෙන නැතැයි විමර්ශනවලදී හෙළි වී ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - 02 සිට 05 දක්වා වූ සැකකරුවන් පවසා ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ සත්‍ය ලේඛන වශයෙන් ඔවුන් පිළිගන්නා බව නේද?

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය- ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ බාරගෙන ඇත්තේ කෙසේද යන්න ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව සමඟ සසඳා බැලිය යුතුයි. මීගමුව අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුට අයත් ඖෂධ නිෂ්පාදනාගාරය පරීක්‍ෂා කර බැලූ නිලධාරීන් එම ස්ථානය ජීවානුහරණය කර හෝ ඖෂධ නිෂ්පාදනයට සුදුසු නොවන බව වාර්තා කර තියෙනවා” එසේ තිබියදී අනුමැතිය දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලීමක් කර තියෙනවා”

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශය දෙමින් පළමු සැකකරු සැපයු එන්නත්වල සංකූලතා ඇති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා හෙළි කර ගැනීමෙන් පසු පැවැත්වූ කමිටු රැස්වීම්වල දී අවස්ථා කිහිපයකදීම ඒ බව හෙළි කළ බව සඳහන් කර තියෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය - එසේ තිබියදී වෛද්‍ය සැපයුම් අංශය පළමු සැකකරුට ගෙවීම් කිරීමට සූදානම් වීම නිසා අදාළ ගෙවීම් වහාම නැවැත්වීමට ලිපි 03ක් නිකුත් කළ බවත් ඉන් පසු පළමු සැකකරු ඔහුට තර්ජනාත්මක ලිපියක් එවමින් මගේ ගෙවීම් නැවැත්වීමට ඔබට හැකියාව නැති බවත් සඳහන් කර තියෙනවා.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - ඇමැතිවරයා ස්වේඡාවෙන් දුන් ප්‍රකාශය අනුව පෙනී යන්නේ මෙම ඖෂධ සිද්ධිය පිළිබඳ ඔහුගේ දැනුවත්භාවයක් තිබූ බව නේද?

ජනාධිපති නීතීඥ නලින්ද ඉන්දතිස්ස මහතා - ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ පළමු සැකකරුට ගෙවීම් කරන ලෙස ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ලෙස අත්සන් කර කැබිනට් එකට දැනුම් දී තියෙනවා. මෙම සිද්ධිය පිළිබඳව ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකමුතුව’ පැමිණිලි කර තියෙන්නේ ඔක්තෝබර් මස 02 වැනිදා. ඉන්පසු ඔක්තෝබර් මස 13 වැනිදා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා පැමිණිලි කර තියෙන්නේ. මෙය කළේ කවුරු වුණත් මුදල් හොරා කෑමේ කුමන්ත්‍රණය මෙය තමයි. මේ පිළිබඳ සොයා බැලිය යුතුයි”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය- රුපියල් බිලියනයකට තමයි සැකකරුට ටෙන්ඩරය දී ඇත්තේ. නමුත් ඔහුට අවශ්‍ය කුප්පි සොයා ගැනීමට නොහැකිවීම නිසා මෙය මේ ගණනින් නැවතුණේ කුප්පි සොයා ගැනීමට හැකිවුණා නම් රුපියල් බිලියනයක්ම නැති වෙනවා. ඒ සෑම රුපියලක්ම ගෙවීමට සිදුවෙන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක මහජනතාවටයි. හදිසි ඖෂධ අවශ්‍යතාවක් කියා ඖෂධ ගෙන්වුවත් එම ඖධෂ ලැබී ඇත්තේ මාස 05කට පසුවයි.

දෙවැනි සැකකාර වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් නීතිඥ රිස්වාන් උවයිස් සහ අංජන රත්නසිරි සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.එම් සුහයිර් මහතා සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ පරීක්‍ෂා නොකිරීම තම සේවාදායකයාට ඇති චෝදනාව යැයි කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇති අවිධිමත් ක්‍රියාකලාපය නිසා මේ තත්වය උද්ගතව ඇති බවත් තම සේවාදායකයා මෙම අපරාධයට කිසිදු සම්බන්ධයක් නැති බවත් කී නීතිඥ අංජන රත්නසිරි මහතා, ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.

තුන්වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් වශයෙන් නම් කර නැතැයි කීහ.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - පළමු සැකකරු පවසා ඇත්තේ කිසිම අවස්ථාවක ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කර නැති බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් විය යුතු නැහැ.

පස්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අශෝක සේරසිංහ මහතා කරුණු දක්වමින් කැබිනට් පත්‍රිකා හදන්න කියා කීවේ තම සේවාදායකයාදැයි ප්‍රශ්න කළ අතර, ‘මේ නඩුවට අල්ලන්නේ පොඩි උන් විතරද? ලොකු උන් අල්ලන්නේ නැද්දැ’ යි විමසීය.

ලොකු උන්ගේ ගෙවලවලට ගිහින් පොලිසිය කටඋත්තර ලියා ගන්නවා. නීතිය කාටත් එක හා සමාන විය යුතු යැයි කී නීතිඥ අශෝක සේරසිංහ මහතා, වැඩ්ඩෝ ටික එළියේ පොඩ්ඩෝ ටික ඇතුලේ යැයි කීය.

පළමුවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින්, මුදල ගෙවීමට එපා කියා ඇමැතිගේ ලියුම එන විට මුදල් ගෙවලා ඉවරයි. ඇමැති ඒකෙන් බේරිලා. ඇමැති බේරන්න දැන් විවිධ දේවල් කරනවා. යැයි කීය.

ඇමැතිවරයා හරිම වාසනාවන්තයි. ඇමැතිගේ ගෙදරට ගිහින් කටඋත්තර ගන්නවා. ‘‘අපිව පාරේදී අල්ලා ගන්නවා. රහස් පොලිසිය ඇමැතිට සුදුහුණු ගාලා, අපිව රිමාන්ඩ් කරනවා. අද හෙටම ඇමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට.

මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා හරි රිට් පෙත්සමක් දාලා හරි මෙම උසාවියට එන එක නවත්වා ගනී යැයි කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ‘පහත් තැනින් යයි ගලා ජලේ’ යැයි කීය.

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට ඇමැතිවරයා සම්බන්ධ බව මුල් අවස්ථාවේදීම තම සේවාදායකයා කීවත් ඔවුන් එය ලියා ගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කීය.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් පළමු සැකකරුට අධිකරණයට ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා. නැත්නම් රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා.

මේ අවස්ථාවේදී සැකකරු ඇමතූ මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ප්‍රකාශයක් දීමට කැමතිදැයි විමසූ අතර, ඊට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් පළමු සැකකරු රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට කැමැති යැයි කීවේය.

නීතිඥ ජාලිය සමරසිංහ මහතා - මාව ඇල්ලුවේ කූඨ ලේඛන හැදුවා කියලා. දැන් කූඨ ලේඛන නැහැ. මට විරුද්ධව ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනායි. ඇමැතිවරයකුට තර්ජනය කරලා අතක් පයක් කඩා ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියා දන්නේ දැනුයි.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - මේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් රහස් පොලිසිය හරියට විමර්ශනය කරයි කියා අධිකරණය හිතනවා.

නීතිඥ ජාලිය සමරසිංහ මහතා - මගෙන් හෙට ප්‍රකාශ ගනිද්දී, කවුද කිව්වේ? කොච්චර සල්ලි ගත්තද? මේ ඔක්කෝම මං කියන්නම්.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - රජයේ මුදල් පිළිබඳව කොච්චර සහනශීලීවද හිතන්නේ?

නීතිඥ ජාලිය සමරසිංහ මහතා - ඔව්. කෙහෙළිය තමයි කිව්වේ. මං කළා. විමර්ශනවලට මං බාධා කරන්නේ නැහැ. මොකද බාල ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දඩය රුපියල් 100/-යි. මට විරුද්ධව නඩු දැම්මොත් මේ දඩ ගෙවල මං යන්නම්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙ​නෙවිය - මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 1,444යි. මෙය පොදු දේපළ පනත යටතේ චෝදනාවක්. ඊට වැරැදිකරු වුණොත් පාඩුව වගේ තුන් ගුණයක දඩයක් ගෙවිය යුතුයි.

නීතිඥ ජාලිය සමරසිංහ මහතා - ප්‍රශ්නයක් නැහැ. මට නඩුවක් දාන්න. මං ළඟ මුදල් තියෙනවා. රුපියල් ලක්‍ෂ 50ක් මං ගෙවන්නම්. මගේ රසායනාගාරය විතරක් රුපියල් කෝටි 1000ක් වටිනවා. කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න විට ඔහුගේ දෙපැත්තේ නීතිඥවරුන් දෙදෙනකු හිටියා. මගේ සේවාදායකටත් ඒ වරප්‍රසාදය දෙන්න.

මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය - එය අධිකරණයේ කටයුත්තක් නෙමේ. ඔහුගේ ප්‍රකාශය බාර ගන්නවාද කියාවත් අධිකරණය තීරණය කර නැහැ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන මස 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ අතර, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළාය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ලක්සිරි, සැරයන්වරුන් වන (35124) ප්‍රනාන්දු, (61823) මනෝජ් සමඟ ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත මහතා පෙනී සිටියේය.

නීතිපතිවරයා නියෝජනය කරමින්, පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ හේෂාණි විජේසිංහ මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පෙනී සිටියාය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන නවීන් ශානක අශෝක සේරසිංහ යන මහත්වරුන් ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් සමඟ ජනාධිපති නීතිඥවරුන් වන රෝලන්ඩ් පෙරේරා, එම්.එම්. සුහයිර් සහ කාලිංග ඉන්දතිස්ස යන මහත්වරු පෙනී සිටියහ.

 

 



අදහස් (16)

බෙහෙත් වංචාවේ ලොක්කෝ එළියේ:පොඩ්ඩෝ ඇතුලේ

Bamunuarachchi Wednesday, 27 December 2023 11:22 PM

දැන් ඇමැතියා කිව්වොත් ජනාධිපති කිව්වා.... ඒ නිසා මම කෙරුවා. ජනාධිපති කියයි ජනතාව කිව්වා ඒ නිසා මම අවසර දුන්නා.

:       0       0

ravin Thursday, 28 December 2023 01:28 AM

උත්තරීතර යැයි කියාගන්නා තැන හා අංගොඩ මානසික රෝහල අතර වෙනස දන්නා කෙනෙක් ඉන්නවද?

:       0       0

saman Thursday, 28 December 2023 02:07 AM

බෙහෙත් වංචාව ඇති දූෂිත වංචාවක් බව පැහැදිලි වේ. ලංකාවේ රෝහල්වෙත වෛද්‍ය උපකරණ සිට සියලු ප්‍රමිතියක් සහිත බෙහෙත් මිලදී ගැනීම් සඳහා අතරමැදියන් නොමැතිව රජයන් අතර එකඟතාවයන් ඇති කරගනිමින් කටයුතු කිරීමට කටයුතු කළයුතු වේ. දේශපාලනය ඍජුව හෝ වක්‍රව මෙවැනි දූෂිත ගනුදෙණු සඳහා සම්බන්ධව සිටියි.

:       0       0

Nadadawa withanage sisira kumara Thursday, 28 December 2023 05:58 AM

ඔක්කොම අය නිදහස් වෙයි... අපි වැරැදි කාරයෝ වෙයිද?

:       0       0

මොට්ටපාල Thursday, 28 December 2023 06:58 AM

ලංකාවේ දේශපාලුවෝ කියන කියනදේ කරන නිලධාරි ක්‍රමය අවසන් කරන්න ඕනෑ... එහෙම වුණත් 1972 පමණ වනතුරු නිලධාරි ඔවුන්ගේ ඒකාධිකාරයක් පවත්වා ගැනීම නිසා දිසාපාලන අධිකාරිය පටන්ගත්තා... ඉන්පස්සේ තව තවත් අත්හදා බැලීම් කරලා හොඳ පාලනයක් පවත්වාගත් දිසාපති ක්‍රමය අහෝසි කළා... අවම වශයෙන් රටේ සියලුම ජනයාට බලපාන මෙවැනි අමාත්‍යාංශ වලටවත් දේශපාලුවෝ කියන දේ නොකරන ලේකම් හා හොඳ නරක තේරුම් ගන්න පුළුවන් උපදේශක පිරිස් පත්කිරීම් කරන්න ඕනෑ..

:       0       0

dasun Thursday, 28 December 2023 09:06 AM

මින් ඉදිරියට CID විමර්ශන , ප්‍රකාශ ලබා ගැනීමට ඔබට කැඳවීමක් ලැබුණහොත් ඔවුන්ට ඔබ නිවසට පැමිණෙන ලෙස දැනුම් දෙන්න. ඒ සඳහා අවස්ථාවක් ලබා නොදෙන්නේ නම් ළඟම මහේස්ත්‍රාත් අධිකරණයට හෝ මානව හිමිකම් කොමිසමට දැනුම් දෙන්න...

:       0       0

Ishara Thursday, 28 December 2023 09:57 AM

පරම්පරා 07කට සාප වේවා...! සල්ලි ගත්තු කට්ටියගේ...!

:       0       0

Deepal Nirosh Thursday, 28 December 2023 11:02 AM

බෙ‍හෙත් විතරක් නොවෙයි, කොයි වංචා දූෂණයේත් පොඩ්ඩෝ ඇතුළට යනවා. ලොක්කෝ තවත් ඉහළට යනවා...!

:       0       0

මුවන්පැලැස්සේ පිනා Thursday, 28 December 2023 12:18 PM

රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත්කිරීමට හේතු වෙන සිද්ධියේ සියලු දෙනාම ජනතා ද්‍රෝහීන් කියන්න පුළුවන් සමස්ථ රෝගීන් (ජනතාව) වින්දිතයින් වෙද්දී ඔවුන් පීඩාවට පත්කර පුද්ගලික ලාභ ලැබූ සෑම අයටම යමෙකු පක්ෂපාතී වීමත් රැකවරණය දීමත් මෙවැනි ද්‍රෝහි ක්‍රියාවන්ට අනුබල දීමක් වෙන්නේ නැද්ද? නොදන්නාකමට ඇහුවේ... දන්න කෙනෙක් කියා දෙන්න.

:       0       0

Kazi Shajahan Thursday, 28 December 2023 12:31 PM

ඇමැති වරයෙක් හිටියට වැඩක් වෙලා නෑ. අපරාදෙ එයාට දුන්නු වරප්‍රසාද? මහජනතාවගේ බදුමුදල්නේ... මේ තරම් නාස්ති වෙනකන් දන්නෑ වගේ ඉඳලා තියෙන්නේ...!

:       0       0

fairoos Thursday, 28 December 2023 01:11 PM

හොරා පොලිස් නාඩගම... මේවා කොහේද විසඳෙන්නේ? මේ ආණ්ඩුව ඉන්නකන්...!

:       0       2

Rata Perata Thursday, 28 December 2023 01:38 PM

බලාගෙන ගියාම බැල්කනි වලින් පැනලා විතරක් නෙවෙයි. අනික් එක සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයෝ තම සේවාදායකයෝ වරදක් කරලා කියලා දැනගෙන එකෙන් බේරෙන්න උත්සාහ කරනවා නම් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අයට ලේ බඩ ගිහින් මැරෙන්නේ..!

:       0       4

Prabha Thursday, 28 December 2023 03:12 PM

ලංකාවේ මෙහෙමත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්...!

:       0       3

Aa Thursday, 28 December 2023 03:32 PM

මේක මොකක්ද?

:       0       0

Siri Thursday, 28 December 2023 03:52 PM

අනිත් වංචා, දූෂණ වලත් ඔච්චරම තමයි ඉතින්...!

:       0       1

Chamila Fernando Thursday, 28 December 2023 04:01 PM

රට සහ රටේ නීතිය පිළිබඳව කියාගන්න බැරි කණගාටුවක්..., හිරිකිතයක් ඇතිවෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 446 0

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


‍කෙල්ල බලන්න ගිය කොල්ලා දවස් 7 ක් තිස්සේ අතුරුදන්
2024 අප්‍රේල් මස 28 756 0

සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප


වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
2024 අප්‍රේල් මස 28 355 0

වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය


වාහන ආනයන තහනම ඉවත් කිරීමට තීරණයක්
2024 අප්‍රේල් මස 28 1108 1

වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ
2024 අප්‍රේල් මස 28 236 0

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද


ටයර් සමාගමකින් කෝටි 26ක බදු පොල්ලක්
2024 අප්‍රේල් මස 28 500 0

මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 374 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1770 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1601 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site