(රෝෂන් තුෂාර)

ජාතික සංවර්ධන බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් කෝටි  1300ක් (බිලියන 13 ක්) වංචනිකව සොරා ගැනීමට ආධාර අනුබල දුන් බැංකුවේ ඉහළ නිලධාරීන් වෙතොත්  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා රහස් පොලිසියට  (14) නියෝග කළේය.

වංචාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසුව  ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිර්දේශ මොනවාද? එසේ නිර්දේශයක්  කර ඇත්නම් ඒවා යටපත් කළ බැංකුවේ ඉහළ නිලධාරීන්  කවුරුන්ද යන්න පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.

2024 වසරේ සිට 2026 මාර්තු මාසය දක්වා කාලය තුළ ජාතික සංවර්ධන බැංකුවේ පොදු ලෙජර් ගිණුමට රහසිගතව රිංගා රුපියල් බිලියන 13 මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය  ගොනුකළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත සැකකරුවන් වන බැංකුවේ මූල්‍ය අංශයේ සහකාර කළමනාකාර ලහිරු කොඩිකාර, ඔහුගේ  සහෝදරයකු යැයි කියන පැතුම් කොඩිකාර , බැංකුවේ පරිගණක දත්ත ක්‍රියාකරු සාරංග කෝසල සහ ව්‍යාපාරික මොහොමඩ් ඉන්හමුල් හෂාන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළේය.