(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ වී වගාවට අවශ්‍ය සම්පූර්ණ බන්ඩි පොහොර (MOP – Muriate of Potash) ප්‍රමාණයම එකවර  ලංකාවට ලැබුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

වාරිමාර්ග හා මහවැලි අමාත්‍යාංශය යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනට අයත් මුදල් ප්‍රතිපාදන වැය කරමින් මියුරේට් ඔෆ් පොටෑෂ් හෙවත් බන්ඩි පොහොර මිල දී ගැනීමට එම අමාත්‍යාංශය පියවර ගත්තේය.

මෙට්‍රික් ටොන් 41,876කින් සමන්විත එම සමස්ත බන්ඩි පොහොර තොගය වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිල වශයෙන්  බාර දෙනු දුන්නේය.  එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ද සහභාගි විය.

ඇමරිකානු ඩොලර් මිලියන 40ක වියදමින් මෙම බන්ඩි පොහොර තොගය කැනඩාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබ තිබේ.