(අංජුල මහික වීරරත්න)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතින අතර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක වැඩ බැලීමේ පදනම මත අදාළ තනතුරේ රාජකාරින්හි යොදවා ඇත. දෙපාර්තමේන්තුවේ පවතින දෛනික කාර්යභාරය, අත්‍යවශ්‍ය කටයුතු මෙන්ම ශ්‍රී ලංකා අනන්‍යතා ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ යුතු වීම ද සලකා එම තනතුර සඳහා නිත්‍ය පදනමින් නිලධාරියෙකු පත් කිරීම අත්‍යවශ්‍ය බව පෙනී ගොස් තිබේ.

ඒ අනුව, දැනට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරේ සේවය කරනු ලබන, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එච්. එම්. ජේ. එම්. හේරත් මහතා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.