(අංජුල මහික වීරරත්න)

රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමෙි නව චක්‍රලේඛය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළව වක්‍ර ලේඛ උපදෙස් නිකුත් කරනු ලබන අතර, අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයකින් යුතුව, අක්‍රමිකතා අවම වන අයුරින් කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම එහි අරමුණ වේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ ද අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහි ද අවධානය යොමු කරමින් නව චක්‍ර ලේඛය සකස් කරනු ලැබ තිබේ. 

ඒ අනුව, 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්‍ර ලේඛය නිකුත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.