(අංජුල මහික වීරරත්න)

 ජනාධිපතිවරයාට හිමි විධායක බලතල අනුව රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

13 වෙනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ ඒ අනුව බව කී ජනාධිපතිවරයා එසේ නොකරන්නේ  නම් පාර්ලිමේන්තුව හරහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

13 වෙනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ඕනෑම මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවට බහුතරය අකමැති වුවහොත් සිදු වන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීම බව සඳහන් කළේය. 

කෙසේ වුවද රට බෙදීමට කිසිසේත් සූදානම් නැති බවත් කිසි විටෙක සිංහල ජාතිය පාවා දීමට කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා එහිදී  අවධාරණය කළේය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලයේ  පැවති සර්ව පාක්ෂික හමුව අමතමිනි.