(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

තිහගොඩ නායිම්බල ප්‍රදේශයේ දී පොලීසිය විසින් සිදු කල වෙඩි ප්‍රහාරයකින් 14 හැවිරිදි පාසල් සිසුවකු අද (28) සවස බරපතල තුවාල ලබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිසට වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලැබු එම සිසුවා මාතර මහ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

ත්‍රී රෝද රථයක් පොලිස් අණ නොතකා ධාවනය කල අවස්ථාවේ දී වැටලීමකට එම ප්‍රදේශයට ගොස් සිටි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එහෙත් තුවාල ලැබු සිසුවාගේ පවුලේ ඥාතීන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසු ප්‍රදේශය තුල යම් උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දුන් බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

මාතර වැඩබලන පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.