(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු අතර ලොකු සටනක් අලුත් වටයකින් ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ සඳහා ඔවුන් දේශපාලන අනුග්‍රහ ගැනීමට මේ දිනවල විවිධ උත්සාහ දරමින් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට ජනාධිපතිවරයා විසින් සති තුනක සේවා දිගුවක් පසුගියදා දෙනු ලැබීය.

එය ඔහුට දුන් තෙවැනි සේවා දිගුවයි.

මේ අතර මින් එහාට පොලිස්පතිවරයාගේ සේවය දීර්ඝ නොකර අලුතින් පොලිස්පතිවරයකු පත්කිරීමට රජය තීරණය කර ඇත.

පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවය සති තුනකින් දීර්ඝ කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීමත් සමග ජනාධිපතිවරයා සහ එම සභාව අතර මතභේදාත්මක තත්වයක් නිර්මාණයවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස්පති ධුරය සඳහා නියම සුදුස්සා තෝරා ගැනීම සඳහා මේ දිනවල කටයුතු ආරම්භවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

නව පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් අධිකරණමය කටයුතු බාධාවක්වී පවතින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ නව පොලිස්පතිවරයා ඉතාම ඉක්මනින් පත්කරන බවයි.