(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි හය දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් නාත්තණ්ඩිය දුන්කන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩම් හිමි වැවිලිකරුවකු ගේ නිවසට කඩා වැදුණු  ඔහුට පිහියකින් ඇන තුවාල සිදුකර රුපියල් ලක්ෂ 10 ක් වටිනා රන් භාණ්ඩ සහ ජංගම දුරකථන දෙකක් කොල්ලකා ඔහුට අයත් මෝටර් රථයෙන් පලාගොස් ඇතැයි මාරවිල මූලස්ථානපොලීසිය පවසයි.

තුවාල ලැබූ ඉඩම් හිමි වැවිලිකරු මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි ඔහුගේ එක් පාදයකට පිහියෙන් ඇන ඇති බව පොලිසිය සඳහන් කරයි.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකාය පොලිස් කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් මෙම කණ්ඩායම ඉඩම් හිමි වැවිලිකරු ගේ නිවසට කඩා වැදී මුලින්ම ඔහුගේ එක් පාදයකට පිහියෙන් ඇන තුවාල සිදුකර මෙම කොල්ලකෑම සිදුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

ඔවුන් පැහැරගත් මෝටර්  රථය මාරවිල ප්‍රදේශයේ මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී  පොලිසිය විසින් සොයාගනු ලැබීය.

මෙම කොල්ලය සිදුකර පලා ගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.