(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය පක්ෂය සහ  ඩලස් කණ්ඩායම අද (8) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය  කර ඇත.

කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ බොහොමයක්  එම උත්සවයට සහභාගිවීමට නියමිතය.

විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවුණත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදයට සහභාගිවන බව ඩලස් කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය හෙට (9) සහ  අනිද්දා (10) පැවැත්වේ.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

නවවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (8) පෙරවරු 10.00 ට විවෘත කරනු ලැබීමට  නියමිතය.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හෙට(9) දක්වා කල් තැබෙනු ඇත.

රටේ ආර්ථික තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක්  මෙවර  ඇතුළත්  නොකිරිමට රජය තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අද දිනයේ ක්‍රියාත්මක කෙරෙන බව ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.