(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශාල දූෂණ වංචා ඔස්සේ සාක්කු පුරවා ගැනීම බවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (30) පැවසීය.

එය නීත්‍යානුකූල තීරණයක් වුවත් අසාමාන්‍ය සහ සුවිශේෂි තතත්වයක් බවත් පාර්ලිමේන්තුවේ කටයුතු නැවත මුල සිට ආරම්භ කිරීමට දැරීමට සිදුවන විශාල කාලය සහ වියදමෙන් වන විශාල නසාස්තිය රට දරාගත නොහැකි නාස්තියක් බවත් ඒ මහතා කීය.

ආණ්ඩුවට ඇති බහුතරය පාවිච්චි කර මුදල් කමිටුවල සභාපති ධූර දරණ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඉවත් කර ආණ්ඩුවේ හිතවත් මන්ත්‍රීවරු පත්කර එම කමිටුවල වටිනා කාර්ය භාරය විනාශ කිරීමේ උත්සහයක් ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දූෂණ සහ වංචා පිළිබඳව එම කමිටු මේ වන විට කරගෙන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මෙහි යටි අරමුණ බව ද සඳහන් කළේය.

පාරිලිමේන්තුවේ සැසිවාරය අවසන් වීම පසුගිය වසරේ ජූලි 28 වැනිදා සිදුවූ අතර ඉන් පසුව වර්තමාන සැසිවාරය අගෝස්තු  3 වැනිදා ආරම්භ කළ බව කියන මහාචාර්යවරයා පාර්ලිමේන්තු ඉතිහාසයේ මාස හතක් තුළ දෙවරක් අවසන් කළ සැසිවාර පිළිබඳව වෙනත් මතයක් නොමැති බව ද සඳහන් කළේය.

සැසිවාරය මේ අවසන් කිරීමේ කිසිඳු ප්‍රයෝජනයක් නොමැති වුවද අවාසි රාෂියක් ඇති බවත් පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන පනත්, මෝසම්, යෝජනා, ඇමතිවරුන්ට යොමු කරන ප්‍රශ්න සියල්ලක්ම අහෝසි වීම සහ පාර්ලිමේන්තුවේ කමිටු 40 කට වඩා අවලංගු වන බව කී ඒ මහතා පැවසුවේ  රටේ මුදල් පරිපාලනයට සම්බන්ධ රජයේ ගිණුම් කමිටුව, පොදු ව්‍යාපෘති කමිටුව සහ රාජ්‍ය මුදල් පිළිබඳව කමිටුව අහෝසිවීම කැපී පෙණෙන බවත්ය.

මෙම කමිටු තුණෙන් දෙකක සභාපති ධූරවල විපක්‍ෂයේ මන්ත්‍රීවරු වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මහත්වරු සාර්ථකව කටයුතු කරමින් සිටි බව ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.