(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයෙකු ගේ බෙල්ලෙන් අල්ලා ගම්පහ පොලිස් අධිකාරි කාර්යාලයතුළදී පෙරේදා (6) පහර දුන් බව කියන එම ප්‍රදේශයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහරකෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි
මෙම පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරිවරයෙකු පත්කර තිබේ.

පහරකෑමට ලක්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව ගම්පහ  විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි අයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා ගම්පහ  පොලිස් අධිකාරි කාර්යාලයේ සිටි අවස්ථාවේ ප්‍රධාන පරීක්ෂකවරයා විසින්  හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ  ගැහැනියක් සමග කොස්තාපල්වරයා සම්බන්ධයක් පවත්වන බවට චෝදනා කර ඇති අතර එම අවස්ථාවේ බොරු චෝදනා නොකරන ලෙසට කොස්තාපල්වරයා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට පවසා ඇතැයි කියති.

උඹ කතා කරන්න ඉගෙන ගනිං  යැයි පවසා කොස්තාපල්වරයාගේ බෙල්ලෙන් අල්ලා  පහර දී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

ඒ අවස්ථාවේ පොලිස්  අධිකාරි කාර්යාලයේ සිටි පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු මැදිහත්  වී පහර කෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයා මුදා ගෙන ඇති අතර ඒ අවස්ථාවේ නැවතත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොස්තාපල්වරයා ට පහර දී ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.