(ඩයනා උදයංගනී)

ප්‍රතිව්‍යුහගත කෙරෙන රාජ්‍ය ව්‍යවසායයන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාරයට අයිති වන පරිදි මව් සමාගමක් ඇති කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන වඩා කාර්යක්‍ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා එම ව්‍යවසායයන්හි කොටස් සියයට 100ක් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට අයිති වන පරිදි මහා භාණ්ඩාගාරය යටතේ මෙම සමාගම පිහිටුවීම නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (3) පැවසීය.

ප්‍රතිව්‍යුහගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.