කටාර් රාජ්‍යය මැදිහත් වීමෙන්, ඊශ්‍රායලට සහ හමාස් සටන්කාමීන් අතර ඇතිකරගත් එකඟතාවට අනුව, හමාස් ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් වෙනුවෙන්, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටි පලස්තීනුවන් මුදා හැරීම දිගටම සිදුවෙයි.

මේ වනවිට පලස්තීනුවන් 39 දෙනකුට නිදහස ලැබී ඇති බවත්, ඒ වෙනුවෙන්, හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනකු නිදහස් කළ බවත් වාර්තා වේ.

ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් අතරේ විදේශිකයන් සිවු දෙනකු සිටින බවත්, ඔවුන් තායිලන්ත ජාතිකයන් බවත් පැවැසෙයි.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ආරම්භ වී ඇත්තේ සිවුදින සටන් විරාමයකි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ එම සටන් විරාමය තවත් දීර්ඝ කර ගැනීමට තමන් උත්සාහ ගන්නා බවය.