(අජන්ත කුමාර අගලකඩ)

ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දා ප්‍රකාශ කර ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සදුදා ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇත.

ආපදාවට ලක් වූ මැති ඇමැතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන් ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇතැයි එම මන්ත්‍රීවරුන් සදහන් කර ඇත.

එම නඩුව ඉවත් කරගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට පොලිසිය දුන් සහතිකයක් මත වුවද,ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැතැයි ද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

එම වැරදි කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව තමන් තුළ බලවත් කනගාටුවක් තිබෙන බවද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.

පොදුජන පෙරමුණේ ගාමිණී ලොකුගේ,සාගර කාරියවසම්,ඩී බී හේරත් ඇතුළු මන්ත්‍රී වරුන් ගණනාවක් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මේ බව සඳහන් කර ඇත.