(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතිකයක් දීම හේතුවෙන් ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට( H.D.F.C) රුපියල් කෝටි 7කට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙහිදී තැරැව්කාර සමාගමක් තුන්වැනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙම තැරැව්කරු බැංකුව පාර්ශවයෙන් පැමිණි පුද්ගලයකු බවද කමිටුව පවසයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර තිබීම පිළිබඳවද කෝප් කමිටුවේ අවධානය යොමු විය.
මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් කර එම තැරැව්කරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව මුදල් අමාත්‍යංශයට නිර්දේශ කළේය.
මේ අතර බැංකුව බිම්පුත් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ට 2018 වර්ෂයේ දී ලබාදී ඇති රුපියල් කෝටි 35 ක මුදලක් අයකර ගැනීමේ හැකියාව පිළිබඳව ගැටළුවක් පවතින බව මෙහිදී තොරතුරු අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය.
එසේම මෙම කාරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද කෝප් කමිටුව සඳහන් කළේය.
ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදල් වාර්තා නැතිවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවිය. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් එම පරීක්ෂණයෙන් පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළුපටු වංචා නෙවෙයි මේවා... වහාම වරදකරුවන් හඳුනාගෙන දඬුවම් කරන්න. නැතිනම් කෝප් එක වහලා දාන්න.