( ශාන්ත චන්ද්‍රසිරි)

බස් රථ දෙකකට පහරදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ සියලුම පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්ව අද (01) වර්ජනයක නියලී සිටිති.

එම මාර්ගයේ ධාවනය කරනු ලබන බස් රථ දෙකක් ලිඳුල ප්‍රදේශයේ රාත්‍රීයේ ගාල් කොට තබා තිබියදී කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් එම බස් රථවලට පහරදී අලාභ හානි සිදු කීරිමකට එරෙහිව පුද්ගලික බස් රථ හිමියන් විසින් මෙම වර්ජනය ආරම්භ කොට තිබේ.

බස් රථ වර්ජනයට තලවකැලේ- නුවරඑළිය  මාර්ගයේ ධාවනය වන සියලුම බස් රථ එකතු වී ඇති බව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ තලවකැලේ ස්ථානභාර නිලධාරී  සඳරුවන් අබේවික්‍රම මහතා  පැවැසීය.

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ආරම්භ කොට ඇති මෙම බස් රථ වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ පාසල් සිසුන්, කාර්යාලීය සේවකයන්, පුද්ගලික ආයතනවල සේවකයන් ඇතුළු සෙසු මගී ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට  ලක්ව සිටියහ.