(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය ගොවීන් අර්තාපල් අස්වැන්න රජයට ලබා දීම අරඹා ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

දේශීය අර්තාපල් ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින්, දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පසුගිය 10වන දින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අමාත්‍යංශය කියයි.

ඒ අනුව නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සමුපකාර කෘෂි නිෂ්පාදන එකතු කිරීමේ මධ්‍යස්ථානයේදී එක් ගොවියෙකුගෙන් දිනකට උපරිම කිලෝග්‍රෑම් 1000 කට යටත්ව, කිලෝග්‍රෑම් එකක් රුපියල් 220 ක ස්ථාවර මිලකට මිලදී ගැනීම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වුවද, ප්‍රදේශයේ ගොවීන් විසින් තම අස්වනු මෙම මධ්‍යස්ථානය වෙත ලබා දීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යංශය පවසයි.

 ගොවීන්ගෙන් සෘජුව මිලදී ගන්නා මෙම අර්තාපල් තොග දිනපතා ප්‍රවාහනය කර දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි සැල් ජාලය හරහා පාරිභෝගික ජනතාවට සහන මිලට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ යැයි අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙමඟින් අතරමැදියන්ගේ බලපෑමකින් තොරව ගොවියාට සිය නිෂ්පාදන සඳහා නිසි මිලක් ලබා දීමටත්, පාරිභෝගිකයාට ගුණාත්මක දේශීය අර්තාපල් සාධාරණ මිලකට මිලදී ගැනීමටත් අවස්ථාව සැලසෙන බවද ඔහු කීය.