(සුජිත් හේවාජුලිගේ)

කොළඹදී පැවැති සමගි ජන බලවේගයේ මැයි රැලියට හවුල්කාර දේශපාලන පක්ෂ රැසක නායකයන් සහභාගි නොවීමෙන් පක්ෂයේ කිසියම් මත භේදාත්මක තත්වයක් නිර්මාණයවී තිබෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන්, ජාතික කම්කරු පෙරමුණේ නායක පලනි දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණේ නායක වී එස් රාධක්‍රිෂ්ණන් මෙසේ සහභාගි නොවූ හවුල්කාර දේශපාලන පක්ෂවල නායකයෝ වෙති.

මැයි දිනයට සහභාගි නොවීමට යම් යම් කලකිරීම්ද හේතුවී තිබෙන බව දැනගන්නට ඇත.

විපක්ෂනායකවරයා උදය ගම්මන්පිල මහතාගේ “පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම” කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගිවීම සහ වතු කම්කරුවන්ට වැටුප් වැඩි කළ අවස්ථාවේදී සමහර ස.ජ.බ මන්ත්‍රීවරුන් එය නීති විරෝධී බවට ප්‍රකාශ කළ අවස්ථාවේදී පක්ෂය ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් නොකිරීම යනාදී හේතු මෙම කලකිරීම්වලට හේතු වී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වී කටයුතු නොකරන තාක් සමගි ජන බලවේගයට කිසිම ජයග්‍රහණයක් ලබාගත නොහැකි බවයි.

මේ අනුව මේ සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කරන ලෙසට එම නායකයන් දෙදෙනාට තමා යෝජනා කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

වී එස් රාධක්‍රිෂ්ණන් මහතා පැවසුවේ හදිසි රාජකාරියක යෙදුණු හෙයින් එම රැස්වීමට සහභාගී නොවූ බවයි.

මේ තත්වය යටතේ මෙම නායකයන් පක්ෂය වෙත දිනා ගැනීම සඳහා වැඩපිළිවෙළක් වහා ක්‍රියාත්මක කළ යුතු බව පක්ෂ සාමාජිකයෝ පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කරති.

සමගි ජන බලවේගයේ මැයි රැලියට සහභාගි වී ඇත්තේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පමණි. ඔහු සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්වුණු මන්ත්‍රීවරයෙකි.