(යොහාන් භාසුර)

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු පනතට විරුද්ධ නිසා ඒ සඳහා ඡන්ද විමසන අවස්ථාවට සහභාගි නොවන බවත් බැට් බද්ද පැහැදිලිවම ජනතාවට දරාගත නොහැකි තරම් ඉහළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (11) පැවසීය.

ඡන්දය විමසන අවස්ථාවට සහභාගි නොවන බව පක්‍ෂය දැනුවත් කළ බව කී රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැට් බදු පනතට ඡන්දය දෙනවාද නැද්ද යන්න අද පස්වරුවේ තීරණය කරනු ඇති බව ද ඒ මහතා කීය.

රටේ බදු ක්‍රමය සරළ වියයුතු යැයි විශ්වාස කරන බවත් බදු කියන කාරණය දේශපාලන වාසියට යොදානොගත යුතු බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.

ජනතාවට දරාගත හැකි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතු යැයි විශ්වාස කරන බවත් බදු කොතරම් වැඩි කළත් බදු ගෙවන ප්‍රමාණය එසේ නැත්නම් බදු ජාලය වැඩිනොකරන්නේ නම් එහි ප්‍රතිලාභය ආණ්ඩුවටත් ජනතාවටවත් නොලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

ජනතාව තාක්‍ෂණයට යොමු නොකර අයි.එම්.එෆ්. එකට ඕන විදියට බදු වැඩි කළත් රටේ ජනතාවගේ ආදායම අඩු වී ජීවත් වෙන්න අපහසු වෙනවා මිස වැඩි කරන බද්දෙන් කිසිඳු සහනයක් නොලැබෙන බව කී රාජපක්‍ෂ මහතා පැවසුවේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුවෙන් වැට් එක අඩු කළා යැයි ප්‍රජා අයිතිය අහෝසි කරන තැනට තල්ලු කර ඇති බවත්ය.

බදු අඩු කළ ජනාධිපතිගේ ප්‍රජාඅයිතිය අහෝසි කරන්න ඕන කියලා පෙත්සන් අත්සන් කරන අය බදු වැඩි කළා කියලා පාර්ලිමේන්තුවේ කෑ ගහන බවත් එවැනි තත්වයක් තුළ වැට් බද්දට ඡන්දයට දීමට හැකියාවක් නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.